කොළඹ තත්ත්වය අවදානම් : සියයට 20-30ත් අතර පිරිසකට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වෙලා

July 19, 2021 at 12:54 PM

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ ආසාදිතයින්ගෙන් ලබාගත් වෛරස නියැදි පරීක්ෂා කිරීමෙන් මේ බව අනාවරණය වන බවයි.

“මේ ප්‍රභේද පිළිබඳ තොරතුරු අපි සොයා ගන්නේ, සාම්පල්වලින් විතරයි. පීසීආර් පොසිටිව් වෙන සෑම රෝගියෙකුට ම අපි ජාන අනුක්‍රමණය කරන්නේ නෑ. ඒ නිසා අපිට කොහෙත්ම මේ හමුවන රෝගීන් සියලුදෙනාගේ ම තොරතුරු අපිට ලැබෙන්නේ නෑ. ඒ නිසා තමයි අපිට මේ නියැදියකින් 10ක් ගත්තහම සියයට 20ක් වත් මේ ප්‍රභේදයේ අය ඉන්නවා කියලා. තවත් 10ක් අරන් බැලුවහම ඒකෙනුත් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා නම් අපි කියනවා සියයට 30ක් ඉන්නවා කියලා. එවැනි ඇස්තමේන්තු ගත කිරීමක් තමයි අපි මේ වෙලාවේ කරන්නේ. මේ ගන්න ප්‍රදේශ අනුව, විශ්වවිද්‍යාලය මඟින් ම අපිට ඇස්තමේන්තු කරලා දැනුම්දීලා තියෙනවා, කොළඹ ප්‍රදේශයේ දළ වශයෙන් සියයට 20ත් – 30ත් අතර අය ඩෙල්ටා ප්‍රභේදයේ අය විය හැකියි කියලා.”

උතුරු ප්‍රදේශයෙන් ද ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් හමුවීම මඟින් තහවුරු වන්නේ ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ එය ව්‍යාප්ත වී ඇති බව යැයි ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ.

කොළඹ උතුර, කොළඹ දකුණ, ගාල්ල, මාතර, කිළිනොච්චිය හා යාපනය වැනි ප්‍රදේශවලින් මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් හමුවී ඇති බවත් එවන් තත්ත්වයක් තුළ සෙසු ප්‍රදේශවල මෙම ප්‍රභේදය නොමැති යැයි පැවසිය නොහැකි බවයි වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ.

එනිසා පවතින බැරෑරුම් තත්ත්වය තේරුම් ගනිමින් සියලුදෙනා කටයතු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.