සිය ස්වාමිපුරුෂයාගේ පරිගණකයට නීති විරෝධී ලෙස ප්‍රවේශ වීම සහ තොරතුරු බාගත කිරීම සහ ඔහුගේ මේසය යටතේ නිරීක්ෂණ උපකරණයක් සවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ බිරිඳකට අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
තමන් නිවසේ නොසිටි අවස්ථාවේදී බිරිඳ විසින් සිය පුද්ගලික පරිගණකයට නීතිවිරෝධී ලෙස ලෙස ප්‍රවේශ වී ඇති බවත්, විවිධ තොරතුරු බාගත කර දුරකථන සංවාද පටිගත කර ඇති අතරම සිය කාමරයේ නිරික්ෂණ උපකරණයක් ද සවිකොට ඇති බවයි එම පුද්ගලයා ගල්කිස්ස දිසා අධිකරණයට පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ. මෙම පුද්ගලයින් දෙදෙනා ගේ දික්කසාද නඩුව ද මේ වන විට එම අධිකරණයේ විභාග වෙමින් පවතියි.
මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ කොළඹ රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස සේවය කරනු ලබන ස්වාමිපුරුෂයා වන අතර ඔහුගේ බිරිඳ උතුරු පළාතේ රජයේ රෝහලක විශේෂඥවරියක් ලෙස සේවය කරනු ලබනවා.
තෙවන පාර්ශවයක් විසින් සිය විද්‍යුත් සන්නිවේදනයන්ට නීතිවිරෝධී ලෙස ප්‍රවේශවීම සහ දත්ත ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලිකරු විසින් විත්තිකාරියට එරෙහිව පැමිණිලි කර ඇත. සිය පරිගණකය හරහා තම කැමැත්ත හෝ අවසරයෙන් තොරව වට්ස්ඇප් සේවාවේ ඇති දත්ත සඳහා ප්‍රවේශවීමට උත්සාහ කර ඇති බවයි පැමිණිලිකරු චෝදනා කර සිටින්නේ.
සිය කාමරය වසා දමා තිබියදී අනවසරයෙන් කාමරයට ඇතුළු වීමෙන් සහ ක්‍රියාවිරහිත කොට තිබු පරිඝණකයට පිවිසීමෙන් සිය පෞද්ගලිකත්වයට මෙන්ම විශ්වාසය කඩ කිරීමක් බවයි පැමිණිලි වැඩිදුරටත් චෝදනා කරන්නේ. තමාගෙන් වෙන්වී සිටින බිරිඳ විසින් තමාට හානියක් සිදුකිරීමේ අදහසින් මේ අයුරින් කටයුතු කර ඇති බවයි පැමිණිලිකරු පවසන්නේ.
තම බිරිඳ විසින් නීතිවිරෝධී අයුරින් සහ කිසිදු අවසරයකින් තොරව තම පරිගණකයට ප්‍රවේශවීම, තොරතුරු රැස් කිරීම මෙන්ම විද්‍යුත් නිරීක්ෂණ උපකරණයක් සවි කිරීම පරිගණක අපරාධ පනතේ අංක 3 සහ 4 වගන්ති යටතේ වැරදි බවයි පැමිණිලිකරු චෝදනා කළේ. 2007 අංක 24 දරණ පරිගණක අපරාද පනත යටතේ වැරදිකරු වුවහොත් එය බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් වනවා.
පැමිණිලිකරු වෙනුවෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සහ දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගතය සලකා බැලු ගල්කිස්ස අතිරේක දිසා විනිසුරු ඩි.එම්.කොඩිතුවක්කු සඳහන් කළේ පැමිණිලිකරුගේ පරිගණකය හෝ වෙනත් විද්‍යුත් උපාංගවල ඇති දත්ත ලබාගැනීම හෝ ඒවායේ ඇති තොරතුරු ලබා ගැනීම හෝ වෙනත් විද්‍යුත් නිරීක්ෂණ උපකරණ සවිකිරීම අත්හිටුවමින් පසුගිය ජුලි මස 06 වෙනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
විත්තිකරුට අයත් දත්ත සහ / හෝ ලේඛන සහ / හෝ කෙටි පණිවුඩ භාවිතා කිරීම සහ ශ්‍රව්‍ය, දෘශ්‍ය, සහ / හෝ වෙනත් තොරතුරු භාවිතා කිරීම සහ / හෝ එම තොරතුරු ඇය ඇතුළු වෙනත් ඕනෑම තෙවන පාර්ශවයකට බෙදා ගැනීම අධිකරණය විසින් වලක්වා ඇත.
පැමිණිලිකරුගේ නිවසේ ඇති ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ උපකරණ හෝ මෘදුකාංග හෝ උපාංග සහ / හෝ පැමිණිලිකරුගේ වෙනත් නිශ්චල හෝ චංචල දේපළක් සවි කිරීම වළක්වාලමින් විත්තිකරුට එරෙහිව තවදුරටත් අධිකරණය විසින් නියෝග නිකුත් කරන ලදී.
පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ තමීලා දීනුෂි පෙරේරාගේ උපදෙස් මත තිස්යා වෙරගොඩ, පුලස්ති රූපසිංහ සහ සංජයා මාරම්බේ නීතිඥවරුන් සමඟ පෙනී සිටියා.