තම පුතුට පහරදී ඝාතනය කළාට දෙමව්පියන් ඇතුළු ඥාතින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට

July 11, 2021 at 11:07 PM

තමන්ගේ ම පුතුට පහර දී ඝාතනය කළ මවක සහ පියෙකු පිළිබඳව හසලක ප්‍රදේශයෙන් වාර්තා වනවා. 27 හැවිරිදි සිය පුතුට පහර දී ඝාතනය කළ මව සහ පියා ඇතුළු එක ම පවුලේ සිව්දෙනෙකු හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ.

මෙම සිද්ධිය ජූලි මස 6 වන දා සිදුවී ඇති අතර හසලක ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සුනිල් නිශ්ශංක නමැති ඝාතනයට ලක්වූ පුද්ගලයා අවුරුදු 3ක් සහ සති 3ක් වයසැති දියණියන් දෙදෙනෙකුගේ පියෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඔහු සිය දරු පවුලේ සාමාජිකයින් සමග ඔහුගේ මව්පියන්ට අයත් නිවසේ පිටුපස කුඩා කාමරයක ජීවත්ව සිට ඇති අතර කුලී වැඩ කිරීමෙන් එදිනෙදා ජීවිකාව සොයා ගත්තෙකි.

ඔහුගේ බිරිඳ පොලිසියට සඳහන් කර ඇත්තේ පවුලේ ආරවුලක් දුරදිග යාමෙන් පියා සහ ඔහුගේ මස්සිනා තම ස්වාමියාට පොලුවලින් සහ අතින් පයින් පහර දුන් බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ මව, පියා, නැගණිය සහ නැගෙණියගේ සැමියා හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ජූලි 9 වෙනිදා වන අතර සැකකරුවන් ජූලි 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇත.