හෙළිදරව් නොකළ වත්කම් ව්‍යාපාරවල යොදවන්න නිදහස – අරුණ පුවත්පත වාර්තා කරයි

July 7, 2021 at 9:34 AM

ශ්‍රී ලාංකිකයන් සතු හෙළිදරව් නොකළ ආදායම් සහ වත්කම් කිසිදු දඬුවමකට හෝ බද්දකට යටත් නොකර ව්‍යාපාර වෙනුවෙන් යෙදවීමට හැකියාව ලබාදෙන නව නීති ඇතුළත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ” අරුණ ” පුවත්පත වාර්තා කර සිටිනවා.

මෙම පනතේ ප්‍රතිපාදනවලට අනුව මෙවැනි ආදායම් සහා වත්කම්වලට රජය 1%ක “ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්දක්” පමණක් අයකෙරෙනු ලැබේ.

හෙළිදරව් නොකරන ලද ආදායම් සහ වත්කම් හෙළිදරව් කිරීමට හා ආයෝජනය කිරීමට ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා මෙම පියවර ගෙන ඇත. එවැනි ආයෝජකයන් බද්දක්, දඩ මුදලක් හෝ පොලියක් ගෙවීමේ වගකීමෙන් සහ විමර්ශනයකට හෝ නඩු පැවරීමකට යටත් වීමෙන් නිදහස් කොට “ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්දක්” පමණක් ගෙවීම ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා නීතිමය විධිවිධාන පැනවීමට අදාළව 2021 අයවැය මඟින් යෝජනා කරනු ලැබ ඇති බව මීට අදාළ අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස 2021 මුදල් පනත කෙටුම්පත් කිරීමට 2021 පෙබරවාරි මස 22 දින ඇමැති මණ්ඩල අනුමැතියද හිමිව ති‍බේ.