ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ පස්වැනි වරටත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත. නව පත්වීම් ලිපිය ලැබීමෙන් පසු හඩ්සන් සමරසිංහ මහතා පෙරේදා (29) සවස ගුවන්විදුලියට පැමිණ නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා නික්ම ගිය අතර ඊයේ දින නිල වශයෙන් වැඩ භාරගැනීම සිදුවිය.
යළිත් වතාවක් සභාපති ධුරය සඳහා පත්වීම පිළිබඳ කළ විමසුමේදී හඩ්සන් සමරසිංහ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තමා ජීවත් වූ ගෙදර හා සමාන බවත් නව තනතුරේ වැඩ භාරගැනීමත් සමග කරන පළමු කාර්යය ලෙස තම ගුවන්විදුලියේ අතුරුදන්ව ඇති වටිනා බඩු සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවයි.
‘‘ගුවන්විදුලිය කියන්නේ මෙරට පෞරාණික වස්තුවක්. එහි තිබූ වටිනා බඩු රැසක් නැතිවී ඇති බවයි ආරංචි. ඒවා අති පෞරාණික වස්තූන්. නැතිවෙච්ච ඇතැම් උපකරණ තරුණයන් හතළිහකටවත් උස්සන් යන්න බැරි ඒවා. යෝධයෝ ගෙනැත් අරන් ගියාද? කියා හිතෙනවා. කවුරු මොනවා කීවත්, කළත් මොන බාධක ආවත් මම මේවා ගැන සොයා බලා අදාළ පරීක්ෂණ සිදුකරනවා. මම කිසි කෙනෙකුට බය නෑ.
සුනිල් ශාන්ත, ආචාර්ය පණ්ඩිත් අමරදේව වැන්නන් ගීත හැදූ, වාදනය කළ පියානෝ නැතිවෙලා. මේවා සංස්ථාව සතුව තිබූ කෞතුක වස්තු. මේවා ගැන සොයා බැලිය යුතුයි. බලාගෙන ගියාම සංස්ථාවට අපෙන් පස්සේ විටින් විට ඇවිත් තියෙන්නේ පල් හොරු ටිකක්. මේක ටිකක් සොයා බලා සුද්ද කර ගත යුතුයි. මේවායේ විමර්ශන වංචා විමර්ශන අංශයටත් භාරදෙන්න මම ක්‍රියාකරනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට පත්වූ හත් වැනි සභාපති වන්නේ හඩ්සන් සමරසිංහයි.
මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඊයේ (30 වැනිදා) පත්කර ඇත. ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මෙම පත් කිරීම සිදුකර තිබේ.
(උපුටා ගැනීම : අරුණ පුවත්පත)