හඩ්සන් යලි ගුවන් විදුලියට

June 30, 2021 at 3:09 PM

මෙරට ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදියෙකු වන හඩ්සන් සමරසිංහ මහතා අද (30) යළිත් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධූරයේ වැඩභාරගත්තේය.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කල ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ ඉවත් වූ පසු ඉකුත් මැයි මාසයේ දී පත්කෙරුණු ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ධූරයකට පත්කර තිබෙන බවත් වාර්තා වේ.

1969 දී ගුවන් විදුලි සංස්ථාවට ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකයකු ලෙස එක්වූ ඔහු එහි සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට 1989 දී පත්වූයේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජය යටතේය.

2003 වසරේ දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළිත් ඔහු ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා ලෙස පත්කළ අතර මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ද 2007 වසරේ දී ඔහු එම තනතුරට පත් කරනු ලැබිණි. හඩ්සන් සමරසිංහ මහතා 2015 වසර දක්වා එම තනතුර හෙබවීය.

ඒ අනුව මෙවර ඔහු එම ධූරයේ රාජකාරී භාරගෙන ඇත්තේ සිවුවැනි වරටය.