දරුවන්ට ඇති වෙන “ටෙක්සොකාරා” රෝග තත්ත්වය ගැන අවදානයෙන් සිටින්න : වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවයි

June 23, 2021 at 12:38 PM

දරුවන්ට හුස්මගැනීමේ අපහසුවක්, කැස්සක්, ආහාර අරුචියක් වැනි රෝග ලක්ෂණ පවතී නම් හා නිවසේ සුරතලයට පූසන් හා බල්ලන් ඇති කරන්නේ නම් දරුවාට “ටෙක්සොකාරා” රෝග තත්ත්වය විය හැකි බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්නැයි රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කර සිටිනවා.

මේ දිනවල දරුවන් නිවෙස් තුළ සිරවී සිටින බැවින් ඔවුන්ගේ පාළුව කාන්සිය නිවා ගැනීම සඳහා නිවසේ සුරතලට ඇතිකරන බල්ලන්, පූසන් සමග සෙල්ලම් කිරීම හා මිදුලේ පස්වැලි අතපත ගෑමට පෙලඹී සිටින බවින් මේ සතුන්ගේ අසූචිවල ඇති පණු බිත්තර දරුවන්ට ශරීර ගත වී මෙම රෝග තත්ත්වය ඇති වන බව විශේෂඥවරයා සඳහන් කරයි.

බිත්තරයක් ලෙස හෝ කීටයෙක් ලෙස ශරීරගත වූ පසුව එම කීටයා මොළයේ ආසාදන තත්ත්වක් ඇති කර වලිප්පු තත්ත්වයක් හෝ හිසරදයක් ඇතිකිරීමේ හැකියාවක් මෙන්ම ඇස්වලට ආසාදනය වී ඇස්පෙනීමේ අඩුවක් ඇතිකළ හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මෙම කීටයා පෙණහලු ආසාදනය කිරීමෙන් කැස්සක් මෙන්ම හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවේ. අක්මාව ආසාදනය කිරීමෙන් අක්මාව ඉදිමී ඇස් කහපැහැගැන්වී කෑම අරුචිය ඇතිකරයි.

නිවසේ ඇතිකරන පූසන්ට හා බල්ලන්ට නියමිත කාලයේදී පණු බෙහෙත් දීමෙන් මෙම රෝග තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට හැකිය.මෙහිදී අන් අයගේ සුරතල් සතුන් සමග දරුවන්ට සෙල්ලම් කිරීමට ඉඩ ලබානොදී දරුවන් ආරක්ෂා කරගත හැකිවේ.

( උපුටා ගැනීම : අරුණ පුවත්පත)