මුහුදේ සිද්ධ වෙනදේ අපිට කියන්න බැහැ : වාරකන් කාලයට කැස්බෑවෝ කොහොමත් මැරෙනවා – රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා (VIDEO)

June 17, 2021 at 12:34 PM

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින්, කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ සිදුවන අනතුරු හේතුවෙන් වියහැකි බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා.

“මුහුදේ සිද්ධ වෙන දේ අපට පාලනය කරන්න බැහැ. මේ වාරකන් කාලෙ බොහෝ අනතුරු වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මම පරිසරවේදියෙක් නෙවෙයි, නමුත් මම දැක්කා සමහර පරිසරවේදියො සමාජ මාධ්‍ය ජාලවල කියලා තියෙනවා, වාරකන් කාලයට සත්තු අනතුරුවලට ලක්වෙනවා. ඉතිං වාරකන් කාලයට ගොඩබිමට සතෙක් ගහගෙන ආවාම ඒක අසාමාන්‍ය සිද්ධියක් වෙන්නෙ නැහැ. නමුත් මේ වෙලාවෙ මේ නැවේ අනතුර තියෙන නිසා හැම කෙනෙක්ම මේක සෘජුව සම්බන්ධ කරන්න බලනවා ඒකට” යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ගොඩහේවා පවසනවා.

මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් ඊයේ දිනය දක්වා මෙරට ප්‍රදේශ කිහිපයකට ගසා ගෙන ආ කැස්බෑවුන් 50ක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 08 දෙනෙකු, තල්මසෙකුගේ සිරුරූ හමුවී ඇති අතර තවත් මුහුදු මත්ස්‍යයින් රාශියක් මියගොස් ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.