පාසල් විවෘත කිරීම ගැන අද සාකච්ඡාවක්

June 16, 2021 at 3:13 PM

පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිතතාවය පිළිබඳ ප්‍රමුඛතාවය ලබා දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාෂය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.

ඒ සඳහා දළ වශයෙන් එන්නත් මාත්‍රා 279,020ක් පමණ අවශ්‍ය බව ත් එසේ විවෘත කිරීමේ දී ඇතිවන ගැටලු සම්බන්ධ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

විශේෂඥ වෛද්‍යවරුන් සමඟ පාසල් විවෘත කිරීමට පසුබිමක් ක්‍රමානුකූල ව සකස් කිරීම සඳහා පැවති සාකච්ඡාව අවසානයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පාසල් සියල්ල වසා දමන්නට අපට සිදු වී තිබේ.

එසේ වුවත් දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් ම පන්ති කාමරය තුළ ගුරුවරයා සමඟ සිදු කෙරෙන අධ්‍යාපනය මෙන් සතුටුදායක විකල්පයක් නොවේ.

ඒ සඳහා සූදානම් වීමට සෑහෙන තරම් කාලයක් අවශ්‍ය වනු ඇත. විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ නිර්දේශ මත පමණක් පාසල් විවෘත කිරීම සිදුකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය තීරණයක් ගෙන තිබේ.

එහි පළමු පියවර එන්නත්කරණය වන අතර අධ්‍යාපන වැඩපිළිවෙළට අදාල සියලු දෙනාට එන්නත් ලබා දීම අතිශයින් වැදගත් වේ.

අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලය සඳහා දළ වශයෙන් එන්නත් 279,020ක් අවශ්‍ය වේ. එන්නත්කරණය තුළින් ගුරුවරුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය මෙන්ම දෙමාපියන් තුළ විශ්වාසය ගොඩ නැඟීම ද සිදුවෙනු ඇත.

පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය පිළිබඳ ප්‍රමුඛතාව ලබා දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාශයයි”