සුරාසැල් වැසීමෙන් කෝටි 1500ක ආදායමක් අහිමිවෙයි

June 15, 2021 at 10:57 AM

රටපුරා සංචරණ සීමා පැනවීමෙන් පසු ඉකුත් මාසය පුරා සුරාසල් වසා තැබීම නිසා රජයට රුපියල් කෝටි 1500ක පමණ මුදලක් අහිමි වී ගොස් තිබෙනවා.

රජයට ආදායම් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුවට අමතරව තෙවැනියට ආදායම් ලබා දෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවයි.

කොරෝනා වසංගතය රටපුරා පැතිර යෑම නිසා ඉකුත් මැයි මස 13 වැනිදා සිට රට පුරා සංචරණ සීමා පැනවීමත් සමග සුරාසල් ද වසා දැමීමට පියවර ගැනුණා.

ඒ අනුව මාසයක් පුරා එක දිගට සුරාසල් වසා තැබීම නිසා රජයට රුපියල් කෝටි 1500 කට අධික පාඩුවක් සිදුවී තිබෙන අතර දිනකට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 500කට අධික බවට ගණන් බලා ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව රුපියල් බිලියන 160 කට අධික ආදායමක් බලාපොරොත්තු වී ඇත. කොරෝනා තත්ත්වය හමුවේ විදෙස් මත්පැන් මෙරටට රැගෙන ඒමක් සිදු නොවූ නිසා දේශීය වශයෙන් මත්පැන් අලෙවි කිරීමෙන් ලැබීමට නියමිතව තිබූ විශාල බදු ආදායමක් අහිමි වී ගිය බව ද රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.