සංචරණ සීමා කඩකරන පිරිස් නිරෝධායන කඳවුරු වෙත

June 7, 2021 at 10:46 AM

සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මාර්ගවල ගමන් කරන්නන් පිළිබඳව නව ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට පොලීසිය කටයුතු කරමින් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඒ අනුව, යම් පුද්ගලයෙක් අත්‍යවශ්‍ය සේවාවලට සම්බන්ධ නොවී වාහනයක් පදවන්නේ නම් සහ ඔවුන් නිරෝධායන රීති උල්ලංඝනය කරන බවට අනාවරණය වන්නේ නම් ඔවුන් නිරෝධායන කටයුතුවලට යොමු කරන ලෙසට සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටීමට පොලීසිය බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

එම පිරිස් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට අමතරව මෙම පියවර ද ගනු ඇති බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ දිනයේ දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත ඒ පිළිබඳව දැනුම්දී තිබෙන බවද සඳහන් කර සිටියා.

මේ අතර නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 913 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.