සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් පිටාර ගලන දැවී තෙල් කැළණි ගඟට එක්වීම වළක්වන්න නාවික හමුදාව විශේෂ මෙහෙයුමක

June 4, 2021 at 11:27 PM

ඇති වු අධික වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ අඩංගු ඉන්ධන ගබඩා ටැංකි තුලට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීම හේතුවෙන්, බාහිර පරිසරයට වැසි ජලය සමග එක් වූ එම ඉන්ධන පැතිරයාම වැළැක්වීම සහ ඉවත් කිරීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව අද සවස විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසනවා.

පැවති අධික වර්ෂාවත් සමග සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ ගං වතුර තත්ත්වයක් ඇති වී ඇති අතර, වැසි ජලය සමග මිශ්‍ර වී ඇති මෙම දැවි තෙල් මිශ්‍රිත ජලය පවතින වර්ෂාපතනය අඩු වි කැළණි ග‍ඟේ ජල මට්ටම අඩු වීමත් සමග පට්ටිවෙල ඇල හරහා කැළණි ගඟට එක් වීමේ අවධානමක් පවතී.

ඒ අනුව, දැවි තෙල් මිශ්‍රිත ජලය කැළණි ගඟට එක් වුවහොත් කැළණි ගඟ මගින් ජලය ලබා ගන්නා බියගම හා අඹතලේ ජලපවිත්‍රාගාර මගින් පානීය ජලය බෙදාහැරීමට ඇතිවිය හැකි බලපෑම මැඩපැවැත්වීමට මෙන්ම ප්‍රදේශයේ සිදු විය හැකි පාරිසරික බලපෑම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව දැවි තෙල් මිශ්‍රිත ඉන්ධන පැතිරයාම වැළැක්වීමට පාවෙන ඉන්ධන බාධක (Floating Boom) යෙදීමටත් එම දැවි තෙල් මිශ්‍රිත ජලය ඉන්ධන පෙරණයක් මගින් (Oil Skimmer) පෙරා ඉවත් කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටියි.