එක්ස්ප්‍රස් පර්ල් නෞකාව දියඹට ඇදගෙන යාමේ මෙහෙයුම නතර වෙයි

June 2, 2021 at 2:36 PM

අනතුරට පත් MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පසුපස කොටස මුහුදු පත්ලට කිඳා බැසීමත් සමගම එය ගැඹුරු මුහුදු කළාපයට ඇදගෙන යාමේ කටයුතු නතර කිරීමට ගලවා ගැනීමේ සමාගම පියවර ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

නෞකාවේ පිටුපස කොටස මේ වන විට මිටර් 22ක් වූ ගැඹුරු මුහුදු පත්ලට කිඳා බැස ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

” නෞකාවේ පසු පස කොටස මේ වන විට මුහුදු පත්ලේ තැන්පත් වෙලා තියෙන්නේ. ඒ නිසා නෞකාව දියඹ මුහුදට ඇඳගෙන යාමේ කටයුත්ත නතර කරන්න එම ක්‍රියාන්විතය සිදුකළ නෞකාව ගලවා ගැනීමේ සමාගම පියවර ගෙන තිබෙනවා. මේ වෙන කොට නාවික හමුදාව අවදානයෙන් පසුවන්නේ යම් අයුරකින් නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවේවිද කියලයි.

මේ වෙන විටත් අප මේ ගැන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට දැනුම් දීලා තියෙන්නේ. ඒ වගේම වෙරළාරක්ෂක බලකායේ “සාමාරක්ෂක” නෞකාව මේ වන විට අදාළ මුහුදු ප්‍රදේශයට ලඟා වෙලා තියෙනවා. ඒ යම් අයුරකින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත් ඇතිවන බලපෑම අවම කර ගන්න මේ නෞකාවට හැකියාව තියෙන නිසා.

මිට අමතරව තවත් වෙරළාරක්ෂක බලකායට අයත් නෞකාවක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටග් යාත්‍රාවක් සුදානම් කර තිබෙනවා ඉදිරි මෙහෙයුම් කටයුතු සඳහා යොදවන්න” නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ප්‍රකාශ කර සිටියා.