නෞකාවෙන් සිදුවූ හානිය ගණන් බලන්න මාසයක කාලයක් ගතවෙයි – ඇමති මහින්ද අමරවීර

May 28, 2021 at 8:03 AM

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ බහාලුම් ගිනි ගැනීම හේතුවෙන් මෙර සාගර කලාපයට සහ පරිසරයට සිදුවී තිබෙන හානිය සම්බන්ධව ඇස්තමේන්තුවක් සකස් කරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර මධ්‍යම පරිසර අධිකාරියට ඊයේ උපදෙස් ලබාදී තිබෙනවා.

මෙරට පරිසර පද්ධතියට සිදුවී තිබෙන හානිය පිළිබඳ අදාළ නැව් සමාගම සහ රක්ෂණ සමාගම සමග සාකච්ඡා කර වන්දි අයකර ගැනීමට බලාපොරොත්තු වන බවත්, නැවෙන් තෙල් කාන්දුවක් සිදුවුවහොත් විශාල පරිසර හානියක් සිදුවෙන බවත් ඇමැතිවරයා සඳහන් කලේ.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, නාලක ගොඩහේවා යන ඇමැතිවරුන් නැවෙන් සිදුවී තිබෙන පරිසර හානිය පරීක්ෂා කිරීම සඳහා මීගමුව, සරුක්කුව ප්‍රදේශයේ ඊයේ සංචාරයක නිරත විය.

නැවේ ඉන්ධන ගිනි ගැනීමක් හෝ නැව ගිලුණහොත් දෙයාකාරයක හානි සිදුවන බවත්, දැන් කිරීමට කිසිවක් නොමැති බවත් පරිසර ඇමැති මහින්ද අමරවීර එහිදී සඳහන් කර සිටියා.

දැන් සිදුකිරීමට ඇත්තේ නැවෙන් මෙරට වෙරළ කලාපයට එකතු වූ උපද්‍රවකාරී අපද්‍රව්‍ය එකතු කිරීමයි. එමෙන්ම සිදුවූ හානිය ස්ථිරවම තක්සේරු කිරීමට මාසයක පමණ කාලයක් ගතවෙනවා.

වෙරළට ගොඩ ගසා තිබූ අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා නාවික හමුදාවේ 600ක් පමණ ඊයේ සම්බන්ධවී හිටියා.

මෙම අපද්‍රව්‍යවල රසායනික දෑ අන්තර්ගත නිසා ඒවා එකතු කිරීමට සාමාන්‍ය ජනතාව යොමුවීම ඉතා අනතුරුදායක යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.