ගිනි ගත් නෞකාවේ භාණ්ඩ එක් රැස් කළ පුද්ගලයින් කිහිපදෙනෙකුටම ආසාත්මිකතා මතුවෙයි

May 27, 2021 at 3:35 PM

ගිනි ගනිමින් පවතින එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිට පාවී ආ භාණ්ඩ එක් රැස් කළ පුද්ගලයින් කිහිපදෙනෙකුට ආසාත්මිකතා මතුව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර ප්‍රකාශ කර සිටිනවා.

භාණ්ඩ එක් රැස් කිරීමේ දී මුහුදු ජලයට වැඩි වශයෙන් නිරාවරණය වූ අත් පා වැනි ස්ථානවල සම මතුපිට බිබිළි දැමීම්, ලප මතුවීම් සහ කැසීම් තත්ත්ව හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරු ඇඟවීම් නොතකා වෙරළ වෙත පැමිණි පුද්ගලයින් වෙත බලපා ඇති මෙම ආසාත්මිකතාවලට අමතරව අනාගතයේ ඔවුන් හට සිතාගැනීමට හෝ නොහැකි ආකාරයේ පසු විපාක මතු වීමේ අවදානමක් පවතින බවයි ඇය අවධාරණය කර සිටියේ.

නෞකාවෙන් නිකුත්වන අපද්‍රව්‍යය තවදුරටත් වෙරළ වෙත පැමිණෙන බවත් එම ද්‍රව්‍ය කිසිවකට අත තැබීමට හෝ ලං වීමට හෝ උත්සහ නොකරන ලෙසයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.