සංචරණ සීමා ජුනි 07 දක්වා දීර්ඝ කරයි

May 24, 2021 at 3:33 PM

දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ජුනි මස 07 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා. කෙසේ වුවත් මෙම කාල සීමාවේදී අත්‍යවශ්‍ය භාන්ඩ මිලදී ගැනීමට දින 03ක් වෙන් කර දී ඇති බවත් එහිදී නිවසකින් එක් අයෙකුට පමණක් පිටතට පැමිණිය හැකි බවයි.

නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට දිනයේදී , මැයි 31 වෙනිදා සහ ජුනි මස 04 වෙනිදා යන දින 03 තුලදී පමණක් අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවේදී නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පිටතට ගොස් වෙළඳ සැල් සහ ඖෂධ අලෙවි සැල් වෙත ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ සලසා ඇත.

එම සංචරණ සීමා ලිහිල් කර ඇති කාල සීමාවේදී කිසිදු පුද්ගලයෙකුට වාහන වලින් ගමන් කිරීමට අවස්ථාව හිමි නොවන බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ.

සංචරණ සිමා ලිහිල් කරනු ලබන අවස්ථාවන් වලදී නිවසින් පිටතට යාමේදී ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව නිවසින් පිටතට යාමේ ක්‍රමවේදය අනුගමනය කිරීමට අවශ්‍ය නොවන බවයි රජය පැවසුවේ.

සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවන් වලදී බැංකු කටයුතු සීමිත සේවකයින් සංඛ්‍යාවක් උපයෝගී කරගනිමින් පවත්වාගෙන යෑමට හැකි බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

දිවයිනේ සියලුම සුරාසැල් ජුනි මස 07වෙනිදා දක්වා වසා තැබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර සිටිනවා.

වෛද්‍යවරුන්, වෙනත් අත්‍යවශ්‍ය සේවාවන් වලට සම්බන්ධ අයවලුන් බවට අඟවමින් ඇතැම් පුද්ගලයින් සංචරණ සීමා පනවා ඇති කාල සීමාවේදී වාහන භාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

Image