Facebook ඔස්සේ අසත්‍ය පුවත් පැතිරූ රාජ්‍ය නිලධාරියෙකු CID අත්අඩංගුවට

May 22, 2021 at 11:00 AM

ෆේස්බුක් ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියේ, එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොත්මලේ ප්‍රදේශයේ සහකාර ඉඩම් නිරවුල්කිරීමේ කොමසාරිස්වරයෙක් ලෙස සේවය කරන පුද්ගලයෙකු වන බවයි.

සැකකරු 42 හැවිරිදි ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සැකකරු විසින් භාවිත කළ මුහුණුපොතේ ජීව දත්ත පිටුව පරීක්ෂා කිරීමේ දී කැලෑ හෙළි කිරීම, වනාන්තර විනාශ කිරීම සම්බන්ධයෙන් විවිධ ඡායාරූප එහි තිබු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එම ඡායාරූප පරීක්ෂා කිරීමේදී පුද්ගලික ඉඩම් හෙළි කිරීම් අවස්ථාවල දී ගත් ඡායාරූප බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන තිබේ.

එම ඡායාරූප ලංකාවේ ප්‍රසිද්ධ වනාන්තර හෙළි කරන බව සඳහන් කරමින් සැකකරු විසින් සමාජ මාධ්‍යයේ අසත්‍ය ප්‍රචාරය කර ඇත.

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් ඇති අතර අද (22) දිනයේ දී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.