තුල්හිරියේ ඇගලුම් කම්හලේ පොසිටිව් PCR වාර්තා විනාශ කළ පෞද්ගලික රෝහලක් ගැන විමර්ශන – අරුණ පුවත්පත වාර්තා කරයි

May 21, 2021 at 7:46 AM

තුල්හිරිය ඇඟලුම් කම්හලේ සේවකයන්ට කළ පී.සී.ආර්. මගින් හාරසියයකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ වාර්තා විනාශ කළ බව කියන එක්තරා පෞද්ගලික රෝහලක් සම්බන්ධව ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම ඇඟලුම් හලේ සේවකයන් හාරදහසකට මෙම රෝහලේ PCR පරීක්ෂණ සිදුකර තිබේ. එම PCR පරීක්ෂණ කර ඇත්තේ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් යැයිද අනාවරණය වී ඇත.

මෙම පරීක්ෂණ අක්‍රමවත්ව කර ඇතැයි ද ආසාදිතයන් සම්බන්ධයෙන් දුන් වාර්තා පරස්පර බවද කොවිඩ් කමිටුව අනාවරණය කරගෙන තිබෙන අතර ඉන්පසු ජනාධිපතිවරයා කොවිඩ් කමිටුවට උපදෙස් දී ඇත්තේ එම රෝහලෙන් අදාළ වාර්තා ටික ලබාගන්නා ලෙසය.

ඒ අනුව බදාදා (19) වන විට එම වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියදී ඒවා විනාශ කළ බව අදාළ පෞද්ගලික රෝහල දන්වා ඇත. දිනක් ඇතුළත අදාළ වාර්තා විනාශ කිරීම සැකසහිත වූයෙන් වහාම ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ.

මේ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳ වාර්තාවක් කැඳවා ඇත.

දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 1200ක් පමණ කිරීමට අවසර දී තිබියදී මෙම සතියේ දින දෙකකට එම රෝහලින් පී.සී.ආර්. පරීක්ෂණ 7000ක් කර ඇති බවද හෙළි වී තිබේ.

(අරුණ පුවත්පත)