කොවිඩ් එන්නත් නිෂ්පාදන ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා කෙටි කාලයක් ඇතුළත ගෝලීයව එන්නත් ලබා ගත හැකි යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය. ලොව පුරා අවශ්‍ය එන්නත් සැපයුම් කඩිනමින් ජයගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජපානයේ ටෝකියෝ නුවරදී ඊයේ (20) ආරම්භ කෙරුණු ‘ආසියාවේ අනාගතය’ (The Future Of Asia) පිළිබඳ 26 වැනි ජාත්‍යන්තර සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.
ලෝකයම මුහුණ දී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙමින් තිබෙන අතර ලොව පුරා ආර්ථික ක්‍රියාකාරකම්වලට ද විනාශකාරී බලපෑමක් එල්ල කර තිබෙන බවත් කිසිදු ජාතියක් සූදානම්ව නොසිටි, පෙර නොවූ විරු අභියෝගයක් නිර්මාණය වී ඇති මෙහොතක සියලු ජාතීන් අවබෝධයෙන් සහ විශ්වාසයෙන් එක් විය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ.
වසංගතය ජාතික සීමාවන් නොසලකන බව ද වයිරසය ලෝකයේ පාලනයකින් තොරව පැතිරීමට ඉඩ සැලසුවහොත් එන්නත්කරණය මගින් දැනටමත් ලබා ඇති ප්‍රගතියට තර්ජනයක් සහ මාරාන්තික බලපෑමක් එල්ල විය හැකි බව ද කී ගෝඨාභය රාජපක්ෂ එබැවින් වේගය ඉතා වැදගත් වන බවත් සඳහන් කළේය. වෙළෙඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් සියලු රටවල් සමග සහ විශේෂයෙන් ආසියානු කලාපයේ පාර්ශ්වකාර රටවල් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙම සමුළුවේ දී සඳහන් කළේය.