කොවිඩ් වසංගතය හමුවේ වරාය නගර පනත හදිසියේ සම්මත කර ගන්න අවශ්‍ය නෑ

May 19, 2021 at 6:55 PM

කොවිඩ් 19 වසංගතයත් සමඟ ජනතාව මුහුණ දී සිටින තත්ත්වය හමුවේ කොළඹ වරාය නගර පනත හදිසියේ කලබලයෙන් සම්මත කරගත යුතු නැති අතර එම ජන්ද විමසීම කල් දමන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ රජයෙන් ඉල්ලා සිටියා.

ඒ අද (19) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

මෙහිදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ පැවසුවේ රටට, ජනතාවට බලපාන පනතක් හදිසියේ සම්මත කල යුතු නැති අතර ඒ ගැන ජනතා අදහස් ද ලබා ගත යුතු බවයි.

මේ මොහොතේ දෙදෙනෙකුට එක්‌ වී කතා කිරීමට බැරි තත්ත්වයක මෙලෙස හදිසියේ පනත සම්මත කරගැනීමට උත්සහ දැරීම ගැන සැකයක් පවතින බවයි උන්වහන්සේ පැවසුවේ.

”ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර තිබෙන සංශෝධන ගැන ජනතාව ලෙස අපි දන්නේ නැහැ.

ජනතාව තුළ සංවාදයක් ඇති කරලා අදහස් අරගෙන එවැනි පනතක් සම්මත කරන්න ඕනේ.

අපි කතා කරනේ ජනතාවගේ පැත්තෙන්.

මේකෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ගැන හරියට විග්‍රහ කරන්න.

අවුරුදු 05ක් රට පාලනය කරන්න දුන්න මිස අයිතියක් දීලා නැහැ.

අපි කියන්නේ අපි භාර දුන්න රට නැවත අපිට දෙන්න කියල.

ආණ්ඩුව මේ කියන දෙයක් අහන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා ඊට විරුධව ජනතාව පෙළගස්වන්න.

අපිට ආණ්ඩු පෙරලන්න අවශ්‍ය නැහැ. 69 ලක්ෂය ඇතුලේ අපිත් ඉන්නවා. කරුණාකරලා මේ හදිසියේ මෙවැනි පනතක් සම්මත කරගැනීමෙන් වළකින්න.”

මෙහිදී අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ,

පොදු ජනතාවට බලපාන පනතක සම්මත කරගන්න පෙර ජනතා අදහස් විමසන්න ඕනේ.

හදිසියේ මෙය සම්මත කරගැනීම තුල මෙහි විනිවිදභාවය ගැන ප්‍රශ්නයක් තිබෙනවා.

MCC ගිවිසුම වගේ තත්ත්වයක් තමයි මෙතනත් තියෙන්නේ.

ඇයි සංශෝධන ජනතාවට පෙන්වන්න බැරි.ආණ්ඩුව එද්දී පොරොන්දු වුණ දේවල් ඉෂ්ට කරන්න.

අපි ඔබට භාර දුන්න රට නැවත අපිට එලෙසම දෙන්න කියල අපි මේ දේශපාලකයින්ට කියනවා.

පාස්කු විමර්ශන ගැනද කාදිනල් හිමියන් මෙහිදී අදහස් පළකළා.

උන්වහන්සේ පැවසුවේ පවතින විමර්ශන ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවයි.

ජනතාවට සාධාරණයක් ඉටු නොවන්නේ නම් ඉදිරියේදී ඒ වෙනුවෙන් ජාත්‍යන්තරයට හෝ යාමට ඉඩ තිබෙන අතර ඒ ගැන සාකච්ජා කරමින් පවුසන බවද උන්වහන්සේ පැවසුවා.

විමර්ශන නිසි ලෙස සිදුනොකර උඩින්පල්ලෙන් කරමින් ඇස්බැන්දුමක් සිදුකරමින් සිටින බවද කාදිනල් හිමියන් කියා සිටියා.

”මහ මොළකරුවන ගැන කිව්වත් ඔවුන් ගැන මොනවත් හොයාගන්නේ නැහැ. කඩු 6000ත් ප්‍රති අපනයනය කළේ නැත්නම් මේ කොහේ හෝ තියෙන්නේ ඕනේ. ඒවා නැවත යොදාගන්න පුළුවන්. විමර්ශන ගැන කිසිම විදිහකින් සතුටු වෙන්න බැහැ.”