සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරන කොවිඩ් රෝගීන් නිවාසවල රඳවා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළ තරමක් ප්‍රමාද වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක කරන බව කොවිඩ් පාලන, ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පසුගිය සෙනසුරාදා (15) ප්‍රකාශ කළා. ඊට අදාළ සැලසුම් සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කරමින් පවතින අතර කොවිඩ් කාර්ය සාධක බළකායේද අනුමැතිය මත ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙහිදී ක්ෂණික දුරකථන අංක සේවාවක්, කාර්ය මණ්ඩලය, ගිලන් රථ පහසුකම් ලබාදීම පිළිබඳ ගැටලුද නිරාකරණය කරගත යුතු බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. වාර්තා වන ආසාදිතයන්ගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් කඩිනමන් රෝහල් ගත කිරීමට මෙම වැඩපිළිවෙළ ඉවහල් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සුසී පෙරේරා කියා සිටියා.
කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (17) කැඳවා ඇති කොවිඩ් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවේදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.
මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මූලික අවශ්‍යතා සම්පූර්ණ නොකර නිවෙස් තුළ ආසාදිතයන් රඳවා ගැනීමේ තීරණය කොවිඩ් පාලන ක්‍රියාවලියේ ගත් තවත් පසුතැවීමට සිදුවන තීරණයක් බවයි. පැය 24 පුරා අසාදිතයන්ගේ නිවාසවලට ගොස් පරීක්ෂා කිරීමට අතිරේක වෛද්‍ය කණ්ඩායම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්ත කිරීම, ගිලන් රථ පහසුකම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පැය 24 පුරාම විවෘතව තැබීම, වැනි ගැටලු කඩිනමින් විසඳාගෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස සංගමයේ සභාපති උපුල් රෝහණ ඉල්ලා සිටියි.