අගෝස්තුවේ පාසැල් නිවාඩුව සතියයි – අධ්‍යාපන ඇමති

April 19, 2021 at 4:28 PM

2021 අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව මෙවර සතියකට සීමා කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් පවසනවා.

විෂය මාලා ආවරණය කර ගැනීමට ඇති අවශ්‍යතාවය මත එම තීරණය ගත් බව අමාත්‍යවරයා කොළඹ පැවැත් වු මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

මෙවර අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 4 වන දින සිට ඔක්තෝබර් 30 වනදා දක්වා පැවැත්වෙන බවත්, ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 3 වන ඉරිදා දින පැවැත්වෙන බවත් සඳහන් කර සිටි අමාත්‍යවරයා, අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ ජනවාරි අවසන් සතියේ පැවැත්විමට නියමිත බව සඳහන් කර සිටියා.

එවැනි පසුබිමක් තුළ ළමුන්ට දීර්ඝ නිවාඩුවක් ලබා දිය නොහැකි බවත් විභාග සඳහා පිළියෙල වීමට අවශ්‍ය කාලය ලබා දීමට අගෝස්තු පාසල් නිවාඩුව කෙටි කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.