ඉදිරියේදී ඇති අවදානම ගැන යුද හමුදාපති ඇතුළු සෞඛ්‍ය අංශ වලින් සිහිකැඳවීමක්

April 18, 2021 at 5:55 PM

අලුත් අවුරුදු උත්සවයෙන් අනතුරුව රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව වගබලා ගතයුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී මෙන්ම කාර්යාලවල රාජකාරී කටයුතු සිදුකිරිමේදී සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

එසේ නොවුනහොත් ඉදිරියේදී කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යෑමේ අවදානමක් පවතින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කර සිටියේ.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

විශේෂයෙන් බස්නාහිර, වයඹ, උතුර සහ නැගෙනහිර පළාත්වල එම තත්ත්වයන් දැකගත හැකි බව උපුල් රෝහණ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

“ඉතාම පැහැදිලිව ලංකාවේ මේ වෙද්දි අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම කරන්නේ නෑ. ඇතැම් පළාත් සභාවල ඊයේ දිනයේත් අපි දැක්කා අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා නොගන්නා ලෙස පණිවුඩ හුවමාරු වෙනවා. අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගත්තොත් අපි විශ්වාස කරනවා මීට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙයි. මේ වනකොට ලංකාවේ බොහෝ ප්‍රදේශවල රෝගීන්ගේ යම් යම් වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත, වයඹ පළාත, උතුරු පළාත සහ නැගෙනහිර පළාතේ රෝගීන් වැඩිවීම වාර්තා වෙනවා. ඒ වගේම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන රාශියක රෝගීන් වාර්තා වෙනවා අපිට පේන්න තියෙනවා. ඒ වගේම පෞද්ගලික රසායනාගාරවල පරීක්ෂණ සිදුකර වාර්තාවන රෝගීන් දැනුම්දීමේ ක්‍රියාවලියේ ගැටලු නිසා එම රෝගීන් නිවෙස් තුළත් රැඳී ඉන්නවා.” ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කර සිටියා.