බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා විදේශ මුදල් ණයට ගැනීමේ සීමාව ඉහළ දැමේ

April 17, 2021 at 9:13 AM

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් විදේශ මුදල් ණයට ගැනීමේ සීමාව මහ බැංකුව මගින් ඉහළ නංවා තිබෙනවා. මීට පෙර මහ බැංකු මූල්‍ය මණ්ඩලය මගින් ඒ සඳහා නියාමන රාමුවක් හඳුන්වාදුන් අතර, එහිදී මූල්‍ය සමාගම්වලට විදේශීය ණය ලෙස ලබාගත හැකිවූයේ මුළු වත්කම්වලින් සියයට 10 ක ප්‍රමාණයක්.

කෙසේ නමුත් බලපත්‍රලාභී මූල්‍ය සමාගම් තම ව්‍යාපාර කටයුතු සඳහා සාපේක්ෂව අඩු වියදමකින් විදේශ ණය ලබාගෙන තිබීම සහ ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ වාර්තා සතුටුදායක වීම මෙන්ම වත්මන් වෙළඳපොල තත්වයන් සැළකිල්ලට ගෙන එම නියාමනයන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සමාගමේ සමස්ත ක්‍රියාකාරීත්වය මත පදනම්ව අදියර තුනක් යටතේ සමාගමේ මුළු වත්කම්වලින් සියයට විස්සක් දක්වා විදේශ මුදල් ණයට ගැනීමට බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට අවසර හිමිවනවා.

එහිදී සියයට 10 ඉක්මවන ණය ගැනීම් සඳහා මහ බැංකුවේ පුර්ණ අනුමැතිය අවශ්‍ය වන අතර, විදේශ මුදල් ණයට ගැනීමේ කාලය වසර දෙකක් හෝ ඊට වඩා වැඩිවිය යුතුයි.