අලුත් අවුරුදු දා විශේෂ පිරිසක් ගැන ජනපති සිහිකරයි

April 14, 2021 at 9:12 AM

සමස්ත ජනතාව සෞම්‍ය හා දැහැමි සිතිවිලි ඇතිව කිසිදු භේදයකින් තොරව සිංහල දෙමළ අලු‍ත් අවුරුදු චාරිත්‍ර සමග එක්වනු දැකීම සිය අපේක්ෂාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ අලු‍ත් අවුරුදු සමයේදී සිය දූ දරුවන්ගෙන් ඈත්ව රාජකාරියන්හි නිරතවන හා විදෙස්ගත සියලු පුරවැසියන් කරනු ලබන කැප කිරීමද ගෞරවයෙන් සිහිපත් කරන බවයි.

පසුගිය වසරේ අලුත් අවුරුදු උදාව සැමරීමට රටේ පැවති අයහපත් සෞඛ්‍ය පසුබිම බාධා කළද, පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව අලු‍ත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමට මෙවර සියලු‍ දෙනා එක්ව පසුබිම සකසා ගෙන ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

එසේම රජය දුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විනය ගරුක ජනතාවක් ලෙස සියලු පුරවැසියන් කළ කැපකිරීම නිසා, අලුත් අවුරුද්ද මේ තරමින් හෝ නිදහසේ සැමරීමට අවස්ථාව උදාවී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අලු‍ත් අවුරුදු සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ සෞඛ්‍ය පිළිවෙත් සිහි තබා ගනිමින් සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීම බවයි.

ජනතාව මත පැටවෙන පීඩාවන් ආණ්ඩුව මත තබා ගනිමින් රජය සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යමත් කිරීමේ වෑයමක නිරතව සිටින බව අග්‍රාමාත්‍යවරයා සිය අවුරුදු පණිවුඩයෙන් ප්‍රකාශ කළා.

මේ අතර, අලු‍ත් අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ අභාග්‍ය සම්පන්න කාලසමයක් තුල සකල ලෝකවාසීන්ටම අලුතින් සිතිය යුතු පාඩම සොබාදහම විසින් නිහඩවම කියා දී ඇති බවයි.

උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද මිනිස් සංහතියට යහපත උදා කරන ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරන බව ඔහු කියා සිටියා.