කොළඹ නගරය යලි ප්‍රතිනිර්මාණය කෙරේ : ඉපැරණි ගොඩනැගිලි සංචාරක ආකර්ෂණ සහිත ස්ථාන බවට පත් කරන්න සැලසුම්

April 5, 2021 at 12:10 PM

වසර 150 ක් පමණ පැරණි මෙම ගොඩනැගිලි සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන බවට පත්කරමින් පැරණි කොළඹ නගරය යළි ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණෙන් නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉහත තීරණය ගෙන තිබේ.

දැනට ඉදිවෙමින් පවතින වරාය නගරය (පෝට් සිටි) කොළඹ නව නගරය බවට පරිවර්තනය වන අතර පැරණි ගොඩනැගිලි උරුමයන් ලෙස ආරක්ෂා කිරීමට අමාත්‍යංශය සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් ‘අරුණ’ පුවත්පත වාර්තාකර සිටිනවා.

මේ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය බෞද්ධාලෝක මාවතේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතනය (ITI) පිහිටි පරිශ්‍රය වෙත රැගෙන යෑමට නියමිත අතර කොටුව පොලිස් මූලස්ථානය රත්මලාන අත්තිඩිය ප්‍රදේශයට රැගෙන යනු ඇත. අත්තිඩියේ පවතින පොලිස් දෙපාර්තමේන්තුවට අයත් විශාල භූමි පරිශ්‍රයක් නව පොලිස් මූලස්ථානය සඳහා යොදා ගැනීමට නියමිතය. එසේම විදේශ කටයුතු අමාත්‍යාංශයට යාබදව තේ කෞතුකාගාරයක් නිර්මාණය කිරීමටද නාගරික සංවර්ධන අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

2015 දී ‘ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන නගරය’ ලෙස කොළඹ නගරය දිනාගත් සම්මානය මෙම ව්‍යාපෘතිය ඔස්සේ නැවත දිනාගැනීම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අරමුණ වී තිබේ. අදාළ ව්‍යාපෘතිය යටතේ කොටුව පැරණි ගෆූර් ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති අතර ග්‍රෑන්ඩ් ඔරියන්ටල් ​හෝටලයද ප්‍රතිසංස්කරණයට ලක්කර තිබේ.

මීට අමතරව ශාන්ත ජෝන් මත්ස්‍ය වෙළෙඳ පොළ ඉදිරිපිට රන් මධ්‍යස්ථානය, ජනාධිපති මන්දිරය ඉදිරිපිට ඇති පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල මෙන්ම කොළඹ විසුම්පාය පරිශ්‍රයද මෙම නගර සංවර්ධන ව්‍යාපෘතියට ඇතුළත් වේ.

(අරුණ පුවත්පත)