71 කැරැල්ලට වසර 50යි.බොහෝ දෙනෙක් නොදත් තතු විත්ති

April 5, 2021 at 6:55 AM

නිදහසින් පසු මෙරට ඇතිවූ  පළමු සන්නද්ධ කැරැල්ලට අදට වසර 50කි.

ඒ 71 අප්‍රේල් කැරැල්ලයි.

මීට වසර50කට පෙර අද වැනිදාවක අළුයම එය ඇරඹුණේ වැල්ලවායේ පොලීසියට පහර දීමෙනි.

මේ රජය ඒ ගැන නිවේදනය කළ ආකාරයයි .

අද උදේ පාන්දර එකට පමණ ත්‍රස්තවාදීන් කණ්ඩායම ක් තඹගහවැවපොළදී ලොරියක් බලහත්කාරයෙන් තමන් සතු කරගෙන වැල්ලවාය දෙසට ගමන් කරමින් ජීප් රථයක මුර සංචාරයක යෙදී සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට පොතුවිල් මහාමාර්ගයේදී වෙඩි තබා ඇත.

“පාන්දර 5.30 ට පමණ 40 ක 50 ක පමණ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් අත්බෝම්බ හා තුවක්කු  අතැතිව වැල්ලවාය පොලිස් ස්ථානයට පහරදී ඇත. වැල්ලවාය පොලිසිය තුළ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් (2737) ජේම්ස් මහතා මෙම පහරදීමේදී එතැනම මියගිය අතර මෙම කලබලකාරී  තත්ත්වය ගැන අසා තම නිවසේ සිට පොලිස් ස්ථානයට එමින් සිටි පොලිස් කොස්තාපල් (2127) ගුණසේකර මහතා ඇල්ල – වැල්ලවාය මහාමාර්ග  හන්දියේදී වෙඩි තබා මරා දමා ඇත .

පොලිස් පරීක්ෂක ජයසේකර මහතා හා පොලිස් සැරයන් වරයකු ද පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුද මේ පහරදීමේදී බරපතළ තුවාල ලබා ඇත.

පොලිසිය ආපසු වෙඩි තැබීමේදී ත්‍රස්තවාදීන්ගෙන් දෙදෙනෙකු පොලිස් ස්ථානය තුළදීම මියගොස් ඇත.

පතරොම් තොගයක් හා තුවක්කුවක් අතැතිව සිටි ත්‍රස්තවාදී කණ්ඩායමේ කෙනකු හා තවත් ත්‍රස්තවාදීන් කීප දෙනකු මෙහිදී තුවාල ලබා ඇත.

අනතුරුව තුවාල ලැබූවන්ද  රැගෙන ත්‍රස්තවාදීහු පිරිස කැලෑවැදී බේරී ගියහ.

මෙම සිද්ධීන් දිවයින පුරා ත්‍රස්තවාදී ක්‍රියා සඳහා සූදානම් වීමේ ලක්ෂණයක් වන අතර මෙය ආණ්ඩු තන්ත්‍රය අවුල් කිරීමට හා අඩපණ කිරීමට දරන උත්සාහයක් ලෙසද හැඳින්විය හැකිය.

මෙම හේතූන් නිසා අද දින සිට හදිසි අනපනත් යටතේ පහත සඳහන් පාලන දිස්ත්‍රික්කවල සවස 7 සිට අලුයම 5  දක්වා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කොට ඇත.

එම පාලන දිස්ත්‍රික්ක නම් බදුල්ල, මහනුවර, මොනරාගල, අම්පාරේ සහ නුවරඑළිය ද වෙයි.

රටේ තත්ත්වය සාමකාමී අතට හැරෙන තුරු ඇඳිරි නීති අනපනත් පිළිපදින ලෙස එම දිස්ත්‍රික්කවාසී මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

මෙලෙස අප්‍රේල් කැරැල්ල ආරම්භ වන්නේ 1965 වසරේ රෝහණ විජේවීර විසින් පිහිටුවන අද ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකත්වයෙනි.

ඒ වනවිට ඔහු පසුවූයේ 28 වැනි වියේ යි.

නමුත් විජේවීර මේ වනවිටත් සිටියේ යාපනය බන්ධනාගාරයේ යි.

ඔහු 71 මාර්තු 15 අත් අඩංගුවට පත් වන්නේ චේ ගුවේරා මත වාදය පැතිරවීමේ චෝදනාවටයි.

(අත් අඩංගුවට ගත් විජේවීර ඇතුළු පිරිස)

කෙසේ වෙතත් අප්‍රේල් 2 දා එවක විද්‍යොදය සරසවිය එනම් අද ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ දී සුනන්ද දේශප්‍රිය, පියතිලක, ලයනල් බෝපගේ , ජයදේව උයන්ගොඩ ඇතුළු හය දෙනෙකු බෙදුණු තීන්දුවක් මත නවයෙන් හයක බහුතරයෙන් කැරැල්ල ඇරඹීමට තීරණයකළහ.

ඒඅනුව පළමුව පොලිස් ස්ථාන පහකට ප්‍රහාර එල්ල විය.

මේ වරකාපොල පොලීසියයි.

මෙලෙස පොලිස් ස්ථාන 92කට ප්‍රහාර එල්ල වූ අතර ඉන් 57ක් විනාශ කෙරිණ.

මාස දෙකක් පමණ පැවැති කැරැල්ල අතරතුර පොලීසියේ 37ක් , හමුදාවේ 26 ක් මියගියහ.

මිය්ගිය සිවිල් වැසියන් ග්ණන 41කි.

කැරළිකරුවන් 1200 ක් මියගිය බව එවක රජය පැවසූ නමුත් එය 5000ක් තරම් වන බව ද පැවසේ.

කැරැල්ල අසාර්ථක වන පසුබිමක රජයට බාරවූ සහ අත් අඩංගුවට ගත්  18000ක් පමණ දෙනා කඳවුරු 18ක රඳවනු ලැබිණ.

එළෙස කැරැල්ල අවසන් වූ පසු රාජ්‍ය කොම්ශන් සභා හතරක් වසර ගණනාවක් පුරා මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වු අතර අදාළ නඩු පැවරීමේදී

” රැජණගේ රජයට එරෙහි කුමන්ත්‍රණයක් කිරීම” ඇතුළු චෝදනා වෙනුවෙන් විජේවීර ඇතුළු පහකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

කෙසේ වෙතත් පසූව 1977 නොවැම්බර්මාසයේ එම පිරිස නිදහස ලබන අතර විජේවීර යළි අත් අඩංගුවට පත් වන්නේ 89 දෙවන ජවිපෙ කැරැල්ලෙන් පසුවයි.

1989/11/03 දා ඔහු වෙඩි තබා ඝාතනය කරන ලදී.