අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන පිරිස් ඉලක්ක කර ගනිමින් අහඹු PCR පරික්ෂණ

April 2, 2021 at 11:16 AM

අලුත් අවුරුදු සමය වෙනුවෙන් සිය ගම්බිම් බලා යන ජනතාව ඉලක්ක කරගනිමින් අහඹු PCR පරික්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එහි ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ආර්ථික ප්‍රවර්ධන කලාප තුළ සේවය කරන පුද්ගලයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇති බවයි.

“තව සති දෙකකින් අලුත් අවුරුද්ද උදාවෙනවා. ඒත් සමග අලුත් අවුරුදු නිවාඩුව සමඟ විශාල පිරිසක් කොළඹ සිට පිටතට ගමන් කරනවා විශේෂයෙන්ම ආර්ථික ප්‍රවර්ධන කලාපවල වැඩකරන පිරිස ගම්වලට යනවා එතකොට මේ පිරිස තුළින් සමහර විට කොවිඩ්-19 ආසාදිතයෝ හිටියොත් ගම් බලා කොවිඩ්-19 ගෙනියන්න පුළුවන්, ඒ නිසා ඔවුන්ව ඉලක්ක කරගෙන අහඹු පරික්ෂණ දිගින් දිගටම මේ අවස්ථාවේදී සිදුකරනවා. “

මේ අතර, එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද (02) පෙරවරුවේ නිකුත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.