සිරකරුවන්ගේ පොදු සමාව ලබා දීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාවලියේ කමිටු වාර්ථාව එළිදැක්වේ

March 30, 2021 at 6:16 PM

සිරකරුවන්ගේ තදබදය අඩු කිරීම සඳහා පොදු සමාව ලබා දීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාවලියට අමතරව සමාලෝචන ක්‍රමවේදයක් හරහා විශේෂ සමාව ප්‍රදානය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට පිහිට වූ කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය අලී සබ්රිට හා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වෙත ප්‍රදානය කිරීමේ උත්සවය අද දින බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය (ශ්‍රවණාගාරය) යේ දී පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යතුමිය හා වර්ථමාන ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද සහභාගි වන ලදී.

වර්තමානයේ බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන ප්‍රධානම ගැටළු වන්නේ බන්ධනාගාර තුළ පවත්නා අධික තදබදයයි. බන්ධනාගාර තුළ පවතින මෙම ගැටළුව පිළිබඳව විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකිරීමටත් සිරකරුවන්ගේ පුනරුත්ථාපන කටයුතු වඩාත් විධීමත්ව සිදුකිරීමටත් නව රාජ්‍ය අමාත්‍යාංශයක් වශයෙන් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පිහිටවන ලදී.

මෙම අමාත්‍යාංශය ස්ථාපිත කිරීමේදී ක්‍රියාත්මක කළ යුතු සුවිශේෂී ප්‍රමුඛතා කිහිපයක් හඳුනාගෙන තිබු අතර, මෙම සුවිශේෂී ප්‍රමුඛතා අතරින් ප්‍රධානතම ප්‍රමුඛතාවක් වනුයේ සිරකරුවන්ගේ තදබදය අවම කිරීම සඳහා පොදු සමාව දීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාවලියට අමතරව සමාලෝචන ක්‍රමවේදයක් හරහා විශේෂ සමාව ප්‍රදානය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමයි. අමාත්‍යාංශය පිහිටුවා මාස කිහිපයක් ඉක්මවීමට පෙර අප එම අරමුණ ළඟාකර ගැනීමට හැකිවූ බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සඳහන් කළේ.

1. මෙම අවස්ථාවේ සිට අප රැඳවියන්ට සමාව ප්‍රදානය කිරීමේ නව යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන අතර, මෙම නව යාන්ත්‍රණය සැකසීමට පත්කළ කමිටුව විසින් අවධානය යොමුකළ ප්‍රධාන කරුණු කිහිපයක් ඇත.

• බන්ධනාගාර රැඳවියන් නිදහස් වීමේදී ඒ සම්බන්ධව රජය විවේචනයට ලක්නොවිය යුතු බව
• සමාජ සුරක්ෂිතභාවයට බාධාවක් නොවිය යුතු බව
• නීතිය ක්‍රියාත්මක කරන ආයතන අවතක්සේරුවට ලක්නොවිය යුතු බව
• මෙම නව යාන්ත්‍රණය බන්ධනාගාර පරිපාලනයට රුකුලක් විය යුතු බව

මේ සියලු දේ පිළිබඳව අවධානය යොමුකරමින් සකස් කළ නව යාන්ත්‍රණය ඉදිරියේදී බන්ධනාගාර තදබදය යම් ආකාරයකට අවම කරගැනීමටත්, දීර්ඝ කාලයක් දැඩි මානසික අසහනයකින් සිර කුටියක් තුළ ජීවිතය ගත කළ බොහෝමයක් රැඳවියන්ට සහනයක් ලබාදීමට නියමිතය.