මහ මග රෙස්ලින් ගැසූ පොලිස් නිලධාරියා රිමාන්ඩ්

March 30, 2021 at 4:04 PM

පන්නිපිටියේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා අප්‍රේල් 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මේ අතර අදාළ ලොරි රථ රියදුරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පන්නිපිටිය ප්‍රදේශයේ මාර්ගයක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ මහත් කැලඹීමක් ඇති කෙරුණා. අදාළ නිලධාරියා මහරගම පොලීසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්ය.

අදාළ රියදුරු ඊයේ උදෑසන ලොරි රථයකින් පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මාර්ගයේ රාජකාරී සිදුකරමින් සිටි මහරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලොරි රථයේ ගැටී තුවාල ලබා ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

තුවාල ලැබු රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වන විට කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටීනවා.

ලොරි රථ රියදුරු සිදුකළ වරද සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා එලෙස පහර දී ඇති බව පසුව අනාවරණය වුයේ.

සිදුවීම සම්බන්ධයෙන් අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ අතර ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.