ප්‍රමිතියෙන් තොර පොල්තෙල් බහාලුම් අනිවාර්යෙන් ප්‍රතිඅපනයනය කිරීමට නියෝග

March 30, 2021 at 9:42 AM

ප්‍රමිතියෙන් තොර බවට සාම්පල පරීක්ෂාවේදී අනාවරණය වූ පිරිපහදු නොකළ පොල්තෙල් තොග මෙම සතිය ඇතුළත අනිවාර්යෙන්ම ප්‍රතිඅපනය කළයුතු බවට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ සමාගම්වලට දැනුම් දී තිබේ.

සමාගම් 03ක් මඟින් ආනයනය කරන ලද පොල් තෙල්වල “ඇෆ්ලටොක්සින්“නැමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් සාම්පල පරීක්ෂාවේදී තහවුරු වුවා.

ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී රවිප්‍රිය සඳහන් කළේ, එම පිරිසිදු නොකළ පොල් තෙල් බහාලුම් ගෙනුවූ සමාගම්වලට එම තොග ප්‍රතිඅපනයනය කරන ලෙස දැනුම් දුන් බවය.

ආනයනය කළ පොල් තෙල් බහාලුම් 13 “ඇෆ්ලටොක්සින්“නමැති පිළිකා කාරක අඩංගු බවට පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා පාරිම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය තොරතුරු අනාවරණය කර සිටියා.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් පාර්ශව රැසකගේ අවධානය යොමු වූ අතර ප්‍රමිති ආයතනය සඳහන් කළේ, පිරිපහදු නොකරන ලද පොල් තෙල් නිසි ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගැනුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මේ වන විටත් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරමින් පවතිනවා.