දේවානි ජයතිලක අලුත් මගක යයි

March 28, 2021 at 8:25 AM

ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කර රට නිවැරදි මාර්ගයට ගෙන යා යුතු බවට ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක ප්‍රකාශ කර සිටිනවා. එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ඇයගේ මූළිකත්වයෙන් නව වෘත්තීය සමිතියක් පිහිටුවා ගෙන තිබේ.

ඒ අනුව පරිසරය සුරක්ෂිත කිරීම සඳහා වන සංරක්ෂණ, වනජීවී සංරක්ෂණ සහ මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන තුනෙහි සේවකයින් ඒකාබද්ධව ඊයේ (27) නව වෘත්තිය සමිති එකමුතුවක් පිහිටුවා ගනු ලැබීය.

පරිසරය සුරක්ෂිත කිරීම සඳහා “පරිසරය උදෙසා රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව” නමින් එම නව වෘත්තිය සමිතිය පිහිටුවීමට පියවර ගෙන ඇත. ඊට අදාළ ලේඛණයට රාජ්‍ය සේවකයින් අත්සන් තැබුවේ අත්තිඩිය සොබාකෙත පරිශ්‍රයේදීය.

එම අවස්ථාවට එක්වෙමින් දේවානි ජයතිලක සඳහන් කළේ සංරක්ෂණය කළයුතු සහ සංවර්ධනය කළ ඉඩම් නිසි ලෙස හඳුනාගැනීමට පැහැදිලි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කළයුතු බවය.

නමුත් දැන් සිදුවන්නේ සියලුම ඉඩම් සංවර්ධනයට අරන් ඉතුරුවෙන ඉඩම් පමණක් සංරක්ෂණය කිරීම නිසා පරිසර පද්ධති විනාශ වෙන බවත් පෙන්වා දෙන ජයතිලක මහත්මිය රජයට මේ ගැන සහාය දීමක් ලෙස විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර රට නිවැරදි මාර්ගයට ගෙන යා යුතුයි බවත් කියා සිටියා.