ආගමික හෝ වාර්ගික වශයෙන් නම් ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණයක්

March 24, 2021 at 5:37 PM

යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ඊයේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කර සිටියේ.

පවතින නීතිය අනුව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනු ලබන්නේ ජාතික පක්ෂයක් ලෙස බැවින් ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කෙරෙන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණය වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම දැනට ලියාපදිංචි කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇත්නම් ඒවා සංශෝධනය කිරීමට මෙන්ම එම පක්ෂවල ව්‍යවස්ථාවේ එවැනි වගන්ති ඇතුළත් වන්නේ නම් අදාළ දේශපාලන පක්ෂ දැනුවත් කර ඒවා සංශෝධනයට සාධාරණ කාලසීමාවක් ලබාදීමට ද මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී තීරණය වී තිබේ.