මගීන් ගේ ජිවිත ඔට්ටුවට තබා පාර පුරා ගිය බස් රේස් (VIDEO)

March 22, 2021 at 11:46 AM

මහියංගනය සිට වව්නියාව බලා ධාවනය වන ලංගම බස් රථයක් සහ බකමූණ, පොල්අතුවාඩිය ප්‍රදේශයේ සිට දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් ඉතා අනාරක්ෂිත ලෙස මාර්ගයේ ධාවනය කරනු ලැබු දර්ශන පෙළක් බස් රථයක ගමන් ගත් මගියෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබෙනවා.

ඊයේ පෙරවරුවේ එම බස් රථ දෙක ඉතා අනාරක්ෂිත අයුරින් මගීන් ද සමඟ ධාවනය වන අයුරු එම දර්ශනවල දැක්වෙන්නේ.

පෞද්ගලික බස් රථය වෙනත් කිසිදු වාහනයකට මාර්ගයේ ඉස්සර කිරීමට ඉඩ ලබා නොදී මගීන් ප්‍රධාන මාර්ගයෙන් බැස්සවීමට හා නංවා ගැනීමට කටයුතු කරන ආකාරය ද එම දර්ශනවල සටහන්ව ඇත.

මේ අතර, එම ලංගම බස් රථයට බකමූණ නගරයේ දී සුදු පැහැති වෑන් රථයක් හරස්කොට නතර කර බසයේ රියදුරුට පසුගිය 18 වන දා පහර දී තිබු බව වාර්තා වේ.

එම පහරදීම හේතුවෙන් රියදුරු 20 වන දින දක්වා මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබා නැවත සේවයට වාර්තා කොට ඊයේ (21) ගමන් කරමින් සිටිය දී මෙලෙස මාර්ගය හරස් කළ බව ලංගම බස් රථයේ රියදුරු ඩබ්ලිව්. එම්. තුෂාර ප්‍රදීප් පවසන්නේ.

බකමූණ නගරයේ දී සුදු පැහැති වෑන් රථයක් හරස්කොට පුද්ගලයින් පිරිසක් රියදුරුට පහර දෙන ආකාරයත් එම ස්ථානයට කාන්තා පොලිස් නිලධාරීනියන් දෙදෙනෙකු පැමිණ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගන්නා ආකාරයත් ජංගම දුරකථනයක පටිගත කර තිබේ.

මේ පිළිබඳව බකමූණ පොලීසියෙන් කළ විමසීමක දී ඔවුන් පවසා සිටියේ, මහියංගනය ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු පැමිණිල්ලක් සිදුකර රෝහල්ගත වී ඇති බවත් පෞද්ගලික බස් රථයේ රියදුරුද 18 දින පහරදීම ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔහුද බකමුණ ප්‍රදේශයේම රෝහලක ප්‍රතිකාර ලබන නිසාත් පාර්ශව දෙකෙහිම තොරතුරු අධිකරණයට වාර්තා කර ඇති බවයි.