පාස්කු ප්‍රහාරයට ඈදා තමන් ගැන කළ ප්‍රකාශයට එරෙහිව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා CIDයට

March 19, 2021 at 4:18 PM

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් මැලේසියාවේදී තමන් මුණ ගැසුණු බවත්, එමෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට යෑමට සහරාන් හට තමන් සහය ලබාදුන් බවත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඉන්දියාවේ පුහුණුවක් සඳහා ගොස් සිටි තමන් එය අතරමග නවතා දමා මෙරටට පැමිණ ජාතික බුද්ධි ප්‍රධානියා යන තනතුර භාර ගත් බවත්, එමෙන්ම පාස්කු ප්‍රහාරය විමර්ෂණය කළ ජනාධිපති කොමිසම විසින් තමන්ගෙන් සාක්ෂි ලබා නොගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් අසත්‍ය කරුණු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බවයි.

මෙම සියලු කරුණු අසත්‍ය බවත් තමන් කිසිදිනක සහරාන් හෂීම් හමුවී නොමැති බවත් ඔහුට ආධාර අනුබල නොදුන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ ප්‍රකාශ කර සිටිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

එමෙන්ම තමන් ගෙන් පාස්කු ප්‍රහාරය පිලිබඳ කරුණු සොයා බැලු ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අවස්ථා 03 කදී සාක්ෂි ලබාදුන් බවත් ඉන්දියාවේ පැවති පාඨමාලාවක් අතර මග නතර කොට පැමිණි බවට වන ප්‍රකාශය ද අසත්‍ය බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් සුරේෂ් සලේ ප්‍රකාශ කර තිබෙන්නේ.

මේ අනුව පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ෂණය කිරිමට සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ.