මාධ්‍යවේදියෙකු පැහැරගෙන යාමේ සිද්ධිය අසත්‍යක් බවට හෙළිවෙයි : හිටපු ඇමති රාජිත ගෙන් ප්‍රශ්න කිරිමට යයි (VIDEO)

March 18, 2021 at 6:43 PM

මහිම – සියරට යන පුවත්පත්වල මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරනු ලබන සුජීව ගමගේ නැමැත්තා විසින් පසුගිය මාර්තු මස 10 වෙනිදා මීරිගම ප්‍රදේශයේ දී තමන් පැහැර ගෙන ගොස් වධහිංසා පැමිනෙවු බවට දක්වමින් සිදුකළ පැමිණිල්ල සම්පුර්ණයෙන් අසත්‍ය බවට හෙළිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධයෙන් එම මාධ්‍යවේදියා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මෙම මාධ්‍යවේදියා පැහැර ගෙන යෑම සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලට අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ විමර්ශනයකින් මේ පිලිබඳව කරුණු හෙළිවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සුජීව ගමගේ නම් මාධ්‍යවේදියා පසුගිය 10 වෙනිදා පෙරවරු 10.00 ට පමණ මීරිගම දුම්රිය ස්ථානය අසලදී සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් රඳවා ගෙන දත්ත ඇතුලත් මෙමරි චිප් පතක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත් පසුව යම් කිසි ද්‍රව්‍යයකින් දෑත් පිලිස්සුබව පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පසුව එම කණ්ඩායම තමන්ව දහවල් 1.00 ට පමණ මාලිගාවත්ත ප්‍රදේශයේ අත්හැර දමා ගිය බවට පොලිසියට සිදුකළ පැමිණිල්ලේ දැක්වේ.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මීරිගම පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශයද ඒ ගැන විමර්ශන ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එහිදී CCTV කැමරා උපයෝගී කරගනිමින් සිදුකළ විමර්ශනයේදී ඔහු සිදුකල පැමිණිල්ල අසත්‍ය බවට හෙළිව තිබෙනවා.

පැහරගෙන යෑමකට ලක්වූ බව කියන මෙම මාධ්‍යවේදියා මීගමුවේ සිට පැමිණි දුම්රියකින් දහවල් 1.00 ට පමණ දෙමටගොඩ දුම්රිය ස්ථානය අසලින් බැස තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ගේ කාර්යාලයට යන අයුරු CCTV කැමරාවල සටහන්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

එම කාර්යාලයේ පැය 03 කට ආසන්න කාලයක් ඔහු ගත කර ඇති මෙම මාධ්‍යවේදියා එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ද හමුව ඇති බවත් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුලත්ව දින 06ක කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන ඇති බව විමර්ශන වලින් හෙළිව ඇත.

මෙම මාධ්‍යවේදියා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබු ආකාරයට පැහරගෙන ගිය කණ්ඩායම ඔහුගේ දෑත් කිසියම් ද්‍රව්‍යකින් පිලිස්සු බවට වන ප්‍රකාශය ද අසත්‍ය බවට හෙළිව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ මෙම මාධ්‍යවේදියා විසින් පසුගිය 09 වෙනිදා රාත්‍රියේදී මේසන් හැන්දක් ආධාරයෙන් සිය නිවසේ දී තමන්ගේ දෑත් පුළුස්සාගෙන ඇති බවයි.

මේ වන විට අසත්‍ය පැමිණිල්ලක් කිරීමේ චෝදනාවට එම මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුගේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න ගෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.