තවමත් කොරෝනා වසංගත තර්ජනය පැවතීම හේතුවෙන් එළඹෙන උත්සව සමයේ අලූත් ඇඳුම් පැළඳුම්, රෙදිපිළි මිලදී ගන්නේ නම් ඒවා පැළැඳීමට පෙර සබන් හෝ රෙදි සේදුම් කුඩු යොදාගෙන හොඳින් සෝදා වියළා පැළැඳීම වඩාත් ආරක්ෂිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටිනවා.
උත්සව සමයේ ජනතාව සාප්පුවකින් හෝ මාර්ගයේ ඇඳුම් අලෙවි කරන ස්ථානයකින් ඇඳුම් පැළඳුම් මිලදී ගත්තද ඒවා පැළඳීමට පෙර හොඳින් සෝදා ගත් විට කොරෝනා වෛරස් වැනි වෛරස් වර්ග විනාශ කළ හැකි බව එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කලේ.
මේ අතර ඇඳුම් පැළඳුම්, රෙදිපිළි බොහෝ දෙනකු ස්පර්ශ කිරීම හේතුවෙන් ඒවා හරහා කොරෝනා වැනි වෛරස් වර්ග මෙන්ම බැක්ටීරියා පවා පැතිරීමේ හැකියාව ඇති බවත් රෙදිපිළිවල පවතින කොරෝනා වෛරසය විනාශ කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වූ ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙලි රෙනොල්ඞ්ස් ප‍්‍රකාශ කරයි.
‘‘කොරෝනා වැනි වෛරස් විනාශ කිරීමේදී හොඳින් සෝදා ගත් ඇඳුම් පැළඳුම් හොඳින් වියළා ගැනීමත් අවශ්‍ය වෙනවා. මේ අනුව විනාඩි 20ක් සෝදා ගත් ඇඳුම් වියළා ගැනීම යෝග්‍ය වන අතර විනාඩි 45ක් වියළා ගත හැකි නම් එයින් අත්වන ප‍්‍රයෝජනය ඉහළයි. ඇඳුම් සෝදාගන්නේ රෙදි සෝදන යන්ත‍්‍රයක නම් එම කාර්යය අවසන් වූ පසු එම යන්ත‍්‍රය හොඳින් සෝදා පිරිසිදු කිරීමද වැදගත්. අලූතින් මිලදී ගන්නා ඇඳුම් පමණක් නොව කිළිටි ඇඳුම් පවා කොරෝනා වෛරසය විනාශ කිරීම සඳහා මේ අයුරින්ම සෝදා වියළා ගැනීම අවශ්‍යය’’ යැයි මහාචාර්ය රෙනොල්ඞ්ස් සඳහන් කර තිබේ.
( මුලාශ්‍ර : දිවයින පුවත්පත)