ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන්නන් පුනුරුත්ථාපනයට

March 13, 2021 at 1:42 PM

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවාගැනීමේ නියෝගයන් රජය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිකුත් කරයි, ඒ අනුව එම වරදට අත්අඩංගුවට ගන්නා අයවලුන් පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරිම සම්බන්ධයෙන් වන නියෝග ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නව ගැසට් නිවේදනය අනුව ඉහත චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් පැය 24ක් තුල ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාරදිය යුතු වන අතර එහිදී මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා වෙත පොලිස් ස්ථානාධිපතිවරයා වෙත වාර්තාවක් ලාබදීම සිදුකළ යුතුය.

සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ චෝදනාවකට අදාළ වරදක් සිදුකර ඇත්නම් ඒ පිලිබඳ නීතිපතිවරයා වෙත දැනුම් දීමෙන් පසු අදාළ තැනැත්තා පුනුරුත්ථාපනය කිරීමට නීතිපතිවරයා තීරණය කළහොත් ඒ පිළිබඳව ලිඛිත නියෝගයක් සහිතව සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කල යුතුය.

එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකරු වසරකට නොවැඩි කාලයක් සඳහා පුනුරුත්ථාපනයට ලක් කිරීම සඳහා යොමු කිරීමට නියෝග කිරීම සිදුකරන අතර අදාළ සැකකරු විසින් සිදුකර ඇති වරදේ බරපතල භාවය අනුව නඩු පැවරීමක් සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් විසින් නීතිපතිවරයා වෙත අදාළ කරුණු ගොනු කිරීම සිදුකළ යුතු බව මෙම නව ගැසට් නිවේදනයේ සදහන්.