ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, “Sri Lanka Flag Non-Slip Doormat” ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳව ඇමසෝන් වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමක් සම්බන්ධයෙන් පලවූ පුවත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජාතික ධජය පාපිස්නාවක් ලෙසින් දැක්වෙන වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන්, චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙසට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ඒ පිළිබඳව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයද යොමු කර තිබේ.
එමෙන්ම, ඇමසෝන් හි වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳ පසු විපරමක් සිදු කරන ලෙසට වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් දී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.