හිරුණිකා ගේ ඉල්ලීමට අධිකරණ ඇමතිගේ ප්‍රතිචාරය

March 11, 2021 at 12:50 PM

බිලිඳුන්ට මව්කිරි ලබාදෙන මව්වරුන් සඳහා අධිකරණ භුමිය තුල වෙන් වූ ස්ථානයක් සකස් කර දෙන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඊයේ සිදුකළ ඉල්ලීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

අධිකරණ අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙසේ ප්‍රකාශ කර සිටියා,

මව්කිරි දෙන මව්වරුන් මුහුණ දෙන දුෂ්කරතා මගේ අවධානයට යොමු කිරීම ගැන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මම ස්තූතිවන්ත වෙමි. මෙතරම් වැදගත් ජීවිතයේ කොටසක් සඳහා අධිකරණ පද්ධතිය තුළ විධිවිධාන සලසා නොමැත.

මාතෘත්වයේ වැදගත්කම පිළිබඳව මට වටිනාකමක් තැබිය නොහැකි අතර, ඒ අනුව කිසිම මවකට තම දරුවා පෝෂණය කිරීමේ අවශ්‍යතාවය නිසා උසාවිවලට පිවිසීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දිය යුතු නැත.

යුක්තිය පසිඳලීම සඳහා කිසිදු වෙනස්කම් කිරීමක් හෝ බාධාවක් නොමැති බව සහතික කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටින අතර අපගේ යුක්තිය පසිඳලීමේ පද්ධතිය තුළ ළදරුවන් රැකබලා ගැනීම සඳහා පහසුකම් සැපයීමට අප කටයුතු කළ යුතුය.

මෙම කර්තව්‍යයට මම කැපවී සිටින අතර, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින අධිකරණ පද්ධති ප්‍රතිසංස්කරණ සඳහා වූ කර්තව්‍යයේදී මේ සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවට මම සහතික වෙමි.