කාන්තා දිනය සහ සියල්ල අමතකවීම ගැන මහින්ද දේශප්‍රිය තැබූ සටහන

March 8, 2021 at 8:40 AM

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ අපුරු සටහනක් තබා තිබුණා. කාන්තා අයිතිවාසිකම් ගැන පමණක් කතා කරන එකම දිනය අද බවත් ඉන් පසුව සිදුවන්නේ සියල්ල අමතක කර දැමීම බවයි එතුමා සිය සටහනින් පැහැදිලි කර ඇත්තේ.

මේ එම සම්පුර්ණ සටහනයි….

අද ලෝක කාන්තා දිනයයි. ඒගැන කියවමු, වැඩමුලු / සම්මන්ත්‍රණ හා දේශනවලට සහගාගි වෙමු. මාධ්‍ය මගින් අදහස් ප්‍රකාශ කරමු. එමගින් කාන්තා දිනය සමරමු.

” දල්වාලමු එක ඉටි පහනක් …” ගීතය යූ ටියුබයෙන් අසමු.
ඉන් ඉක්බිතිව සියල්ල අමතක කරමුද

කාන්තාවන්ට අදාළව ඔවුන් විසින් ඇදුම් ඇදිය යුත්තේ කෙසේද යන්න හෙවත් නිකාබයේ සිට චීත්ත ගවුම හරහා සාරි – ඔසරි අනිවාර්ය කිරීම දක්වා වූ සියලුම නීති හා නියමයන්ද කාන්තාවන් සම්බන්ධයෙන් පමණක් බලපවත්නා පරිදී පනවා නැතහොත් සම්මතයක් වී ඇති ආගමික හා සංස්කෘතික සීමාවන්ද මහනුවර දිසාපති තනතුර වැනි රාජ්‍ය සේවයේ සමහර තනතුරු වලට පවා කාන්තාවන් පත් නොකිරීමේ අලිබිත නීති මෙන්ම දියවඩන නිලමේ තේරීමේදී පුාදේශිය ලේකම් තනතුරු දරන කාන්තාවන්ට ඡන්ද බලය අහිමි කිරීම, රජයේ ඉඩම් පැවරීමේදී පිරිමි දරුවන්ට ප්‍රමුඛතාව ලබාදීම යනාදී කරුණුද වෘත්තීයවේදීන්ගේ සමිති සමාගම්වල පවා මෙහෙයවීම් මට්ටමේ තනතුරු සදහා කාන්තාවන්ට තේරී පත්වීමට ඇති අපහසුතා / බාධා යනාදිය ගැනද ,ක්ෂුද්‍ර ණය ලබාදී ඒවා අය කරගැනීමට කරන අයුක්ති සහගත බලපෑම් හරහා දිළිදු කාන්තාවන්, වැන්දඹුවන් පීඩාවට පත් කිරීම පිළිබඳවද,කාන්තාවන්, තරුණියන්, යෞව්වනියන් හා ළදැරියන් පොදු ස්ථානවලදී, පොදු ප්‍රවාහන භාවිතා කිරීමේදී සේවා ස්ථානවලදී ලිංගික හිංසනයට ලක්කිරීම ද පෙම්වතියන්ට කෙසේ හැසිරිය යුතුද යන නියම පැනවීමේ සිට පහරදීම් හා හිංසනයට පත්කිරීම් ගැනද හාර්යාවන් ගෘහස්ථ හිංසනයට ලක් කිරීම යනාදිය සම්බන්ධයෙන්ද කතා කරමු. සමාන රැකියාවලදී අසමාන ලෙස වැටුුප් ගෙවීම ගැනද කතා කරමු

එමෙන්ම දේශපාලන ක්ෂෙත්‍රයේ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම ගැනද කතා කරමු .

එසේවුවත් කාන්තා සංවිධාන හෝ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන උනන්දුවක් දක්වන සිවිල් පුරවැසි සංවිධාන හෝ තනි තනි පුද්ගලයන් මේ ගැන කතා කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.

කළ යුත්තේ කාන්තාවන් වීම නිසා ඔවුනට සිදුවන අකටයුතු හා අසාධාරණකම් වෙනුවෙන් මෙන්ම නොසලකා හැරීම් සියල්ල ඉවත් කළ යුතු බවට දේශපාලන පක්ෂ හා ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක වන තත්වයට පත් කරවීමයි.

උදාහරණ වශයෙන් මහජන නියෝජිතයාතන තුළ මෙන්ම දේශපාලන පක්ෂවල නිලධාරී මණ්ඩල තළ යම් නිශ්චිත කාලසීමාවක් දක්වා හෝ අනිවාර්ය කෝටා නියම කරන ලෙස බලපෑම් කිරීම දැක්විය හැකිය.

අපි එක්ව “දල්වාලමු දස දහසක් ඉටිපහන් ”

දල්වාලමු ඉටිපහන් ගීතය නැවත වරක් අසමු .. ජයවේවා !