කොවිඩ් එන්නත දෙන්න අල්ලස් ගත් කාර්යාල කාර්ය සහයකයෙකු පොලිස් අත්අඩංගුවට

March 6, 2021 at 8:00 PM

කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ගන්නා අවස්ථාවේදී මරදාන පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයෙකුව අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට අනුයුක්තව සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස කටයුතු කරන 40 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

බස්නාහිර බුද්ධි කොට්ඨාසය වෙත ලද තොරතුරක් මත මරදාන පොලීසියේ නිලධාරීන් එම වැටලීම සිදුකර තිබෙනවා.

මරදානේ කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදෙන ස්ථානය ආසන්න ප්‍රදේශකයදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එන්නත ලබාදීම වෙනුවෙන් රුපියල් 1000ක අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී.

මෙම පුද්ගලයා සතුව රුපියල් 20,000ක මුදලක් තිබී සොයාගෙන ඇති බවත් ඔහු සතුව තිබූ මුදල් අද දිනයේ එම එන්නත ලබාදීම සඳහා විවිධ පුද්ගලයින්ගෙන් ලබාගත් මුදල් බවට පොලීසිය සැක කර සිටින්නේ.

කොවිඩ් මර්ධන එන්නත ලබාදීම සඳහා ජනතාවගෙන් යම් පුද්ගලයෙකු මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ඇත්නම් ඒ පිළිබඳ පොලීසියට පැමිණිළි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.