ඝාතනයට ලක්වු කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි තරුණිය සිරිපා වන්දනාවේ යන බව පවසමින් නිවසින් බැහැරව ගොස් ඇති බවට පොලිසිය විසින් සිදුකළ විමර්ශන වලදී කරුණු අනාවරණය වී තිබෙනවා. මෙම තරුණිය පසුගිය පෙබරවාරි මස 28 වෙනිදා මෙලෙස නිවසින් බැහැරව ගොස් ඇති අතර ඇය ඝාතනයට ලක්ව ඇති බවට නිවැසියන් දැනගෙන ඇත්තේ මාධ්‍ය මගින් එම තොරතුරු ප්‍රචාරය වීමත් සමගයි.
මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බුත්තල පොලිස් ස්ථානයට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයා සිය රාජකාරී ස්ථානයෙන් නිවාඩු ලබා ගෙන ඇත්තේ නිවසේ පැවැත්වෙන දානමය පුන්‍යකර්මයක් සඳහා සහභාගිවීමට අවශ්‍ය බව පවසමින්ය.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ මෙම උප පොලිස් පරීක්ෂකවරයා කලක් සැරයන්වරයෙකු වශයෙන් රත්නපුර පොලිසියේ සේවය කර ඇති බවත් එහිදී මෙම තරුණිය සමග සම්බන්ධයක් ගොඩනගා ගෙන ඇති බවට සැකකෙරෙන බවයි.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා සොයා පොලිසියෙන් ඔහුගේ නිවසට ඊයේ සවස් කාලයේදී ගියත් ඔහු එහි නොසිට තිබු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.
මේ අතර අද උදෑසන රබර් කිරි කැපීමට පැමිණි පිරිසක් බඩල්කුඹුර ප්‍රදේශයේ පිහිටි රබර් වත්තේ ගසක එල්ලෙමින් තිබී මළ සිරුරක් දැක පොලිසියට දැනුම් දී තිබෙනවා. එහි පැමිණි පොලිසිය එම මළ සිරුර සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ බවට කරුණු අනාවරණය කර ගෙන ඇත. ඔහු සියදිවි හානිකර ගත් ස්ථානය අසල තිබී වස කුප්පියක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
මේ අතර සියදිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා සිය බිරිඳට ලිපියක් ද ලියා තබා ගොස් ඇති අතර තමාගේ අනියම් සම්බන්ධය සහ මෙවන් අපරාධයක් සිදුකළ බවට එම ලිපියෙන් කරුණු සටහන්ව ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශකර සිටියා.
පිටු 04 කින් සමන්විත එම ලිපියෙන් තමන් සහ ඝාතනයට ලක්වූ තරුණියගේ දැන හැඳුනුම්කම ඇතිවූ අයුරු සහ ඉන් තමන්ට අත්විදීමට සිදුවූ ගැටළු සම්බන්ධයෙන් ඔහු එම ලිපියේ සටහන් කර තිබෙන අතර තමන් නිසා විදීමට සිදුවූ සිත් වේදනාවන් සම්බන්ධයෙන් ඔහු සිය බිරිඳ ගෙන් සමාවද අයැද තිබෙනවා.
“මගේ ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න. ටික කලක් යනකොට දුක ඇරිලා යයි. ලෝකේ ඇති වෙනවා, පවතිනවා, නැතිවෙනවා, ඒකයි ලෝකේ ධර්මය. මේක ප්ලෑන් කරලා කරපු එකක් නෙමෙයි. එහෙම නොකලා නම් දැන් හොදයි කියලා හිතෙනවා, දුරගමනක් යනවා.. ආදරෙයි කිය කිය ඉදලා වෛර කළා“ යැයි උප පොලිස් පරීක්ෂකවරයා සිය ලිපියේ සඳහන් කර ඇත්තේ.