කොමිෂන් සභා වාර්තාව අසම්පුර්ණයි : සහරාන්ලාට ටී 56 තියා ගන්න බැහැ ආරක්ෂක අංශ නොදැන – හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ “අරුණ පුවත්පතට” කියයි

February 28, 2021 at 5:41 PM

පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභා වාර්තාව තමන් පිලිනොගන්නා බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

සති අන්ත අරුණ පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මෙම වාර්තාව අසම්පුර්ණ එකක් බවයි.

අරුණ පුවත්පතේ මාධ්‍යවේදියා නැගු ප්‍රශ්න කිහිපයකට හිටපු අග්‍රාමාත්‍යවරයා ලබා දුන් පිළිතුරු පහතින් දැක්වේ :

 

ඔබ මෙම කොමිෂන් සභා වාර්තාව පිළිගන්නවද?

මෙය අසම්පූර්ණ වාර්තාවක්. මොකද සහරාන්ලා ගැන මොකුත් කියන්නෙ නැහැ. බුද්ධි අංශයට කීවා කියනවා. තව කෙනෙක් කියනවා කීවේ නැහැ කියලා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදීත් කතා කළා. සොයා බලන්න කියා නිර්දේශ කළා. ඒක හොයා ගත්ත කියල ප්‍රශ්නය විසඳෙන්නෙ නැහැ. ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළේ මොකක්ද වුණේ. හොයල බලන්න ඕන. කවුද සහරාන්. කවුද උදව් කළේ. ඒ කිසිවක් මෙම කොමිසමෙන් සොයාගෙන නැහැ.

සහරාන්ට උදව් කළ අය ගැන ඔබ කොමිෂන් සභාවට කරුණු ඉදිරිපත් කළේ නැද්ද?

දෙමටගොඩ තරුණ සහෝදරයන් දෙදෙනාට බළඇණියක් වුණත් පවත්වා ගෙන යන්න සල්ලි තියෙන්න ඇති. සහරාන්ට තිබුණා ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක්. එය එල්.ටී.ටී.ඊ. එකෙන් ලැබෙන්න ඇති කියලා කියනවා. නමුත් සහරාන් එල්.ටී.ටී.ඊ. එකත් එක්ක වැඩ කළේ නැහැ. යුද්ධය ඉවර වීමට ප්‍රථම නැගෙනහිර තිබූ එල්.ටී.ටී.ඊ. ගිනි අවි හමුදා භාරයට ගත්තා. යහපාලන කාලයේත් උතුරේ ගිනි අවි සෙව්වා. නැගෙනහිරත් කළා විශාල ගිනි අවි නැහැ කීවා. එල්.ටී.ටී.ඊ. යන කොට ටී 56 ගිනි අවි පාරේ දාලා ගියේ නැහැනේ. සහරාන්ලා ආරක්ෂක අංශ එක්ක වැඩ කළේ. සහරාන්ලාට ටී 56 තියා ගන්න බැහැ. ආරක්ෂක අංශය නොදැන. අන්න ඒ ගැන කොමිෂන් සභාව විමර්ශනය කරලා නැහැ. ඒ ගැනත් විමර්ශනය කළොත් හරිම විසඳුම ගන්න පුළුවන්. එතැන හිටියා නවුෆර් මවුලවි කියලා කෙනෙක්. එයා ගැන කොමිසම කතා කරලා නැහැ. නිදහස් උත්සවයට හා දළදා මාලිගාවට පහර දෙනවා කියා එයා ප්‍රකාශ කර තිබුණා. කොහොමද වෙනස් වෙලා ඇවිල්ලා පල්ලිවලට ගැහුවේ. කවුද සැලසුම වෙනස් කළේ. අබ්දුල් රාසික්, සිලොන් තවුහිත් ජමාත් සංවිධානය. තවුහිත් ජමාත් ගැන කතා කළත් අබ්දුල් රාසික්ගේ සංවිධානය ගැන කවුරුත් කතා කළේ නැහැ. බොදු බළ සේනාව කියා නම් කළත් මෙම සංවිධානය ගැන කියන්නේ නැහැ. එය ප්‍රශ්නයක්. ආරක්ෂක අංශයේ සම්බන්ධය හොයන්න තිබුණා.

ඔබේ අදහස හැටියට කොමිෂන් සභාව ඇයි එවැනි විමර්ශනයක් නොකළේ.?

කොමිෂන් සභාවට බලතළ දීල තිබුණේ සහරාන් මෙහෙය වූයේ කවුද? පිටුපස සිටි බලවේගය කවුද කියලා හොයන්න. අසම්පූර්ණ වාර්තාවක් කියා මම කියන්නෙ ඒකයි. ප්‍රහාරය එල්ල වූ දින කොළඹ කළ දේවල්, රජය ගත් පියවර කිසිවක් වාර්තාවේ නැහැ. අසම්පූර්ණ වාර්තාවක් ඉදිරියට ගෙනියන්න බැහැ. කවුරුවත් මෙම වාර්තාවෙන් සෑහීමකට පත් වෙන්නෙ නැහැ.