කෂෝගී ඝාතනයට සෞදියේ ඔටුන්න හිමි කුමරු අණ දුන්නා : අමෙරිකාව බුද්ධි වාර්තාව එළිදක්වයි

February 27, 2021 at 12:41 AM

මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ අල්ලා හෝ ඝාතනය කිරීමේ මෙහෙයුමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය අනුමැතිය ලබාදී ඇති බවට අමෙරිකා එක්සත් ජනපද බුද්ධි වාර්තාව මගින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

“සෞදි අරාබියේ ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරු තුර්කියේ ඉස්තාන්බුල්හි දී සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි අල්ලා ගැනීමට හෝ ඝාතනය කිරීම සඳහා වන මෙහෙයුමක් සඳහා අනුමත කර ඇතැයි” යනුවෙන් වාර්තාවේ විධායක සාරාංශය සඳහන් කර ඇත්තේ.

2018 වසරේ 15 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් විසින් තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලයේදී ජමාල් කෂෝගී ඝාතනය කළ බවට චෝදනා එල්ල වුවා. පසුව විදෙස් රාජ්‍යවලින් එල්ලවූ බරපතල පීඩනය හමුවේ එම මෙහෙයුමට සම්බන්ධ පිරිස් සෞදි පොලිසිය විසින්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ද ගැනුණා. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර සෞදියේ ඔටුන්න හිමි කුමරුගේ ආරක්ෂාව භාර කණ්ඩායමේ සමාජිකයින් 07දෙනෙකු ද වනවා.

“තීරණ ගැනීමේදී ඔහුට පාලන තන්ත්‍රයේ තිබෙන බලය,රාජකීයත්වය, මෙහෙයුමට සම්බන්ධ වූ ඔහුගේ ආරක්ෂකයින් සහ සෘජු මැදිහත්වීම, කෂෝගීද ඇතුළුව විදේශීය විරුද්ධවාදීන් නිහඬ කිරීම සඳහා සහ ඒ සම්බන්ධයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාමාර්ග ගැනීමට ඔටුන්න හිමි කුමරුගේ සහය හිමිවීම” යන කරුණු තක්සේරු කිරීම මෙම තීරණය කිරීමට ප්‍රධාන සාධකයන් ලෙස වාර්තාවේ දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

“2017 සිට ඔටුන්න හිමි කුමරුට රාජධානියේ ආරක්ෂක හා බුද්ධි අංශවල නිරපේක්ෂ පාලනයක් ඇති අතර, ඔටුන්න හිමි කුමරුගේ අවසරයකින් තොරව සෞදි නිලධාරීන් විසින් මෙවැනි මෙහෙයුමක් සිදු කරනු ඇතැයි සිතිය නොහැකි” බව එම වාර්තාවෙන් පෙන්වා දෙනවා.

වසර දෙකක කාලයකට පසුව මෙම බුද්ධි වාර්තාව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ගේ පාලනය විසින් අද දිනයේදී ප්‍රසිද්ධිය පත් කිරීමට පෙර කොංග්‍රස් මණ්ඩලය වෙත නිකුත් කර තිබුණා.

පසුගිය බ්‍රහස්පතින්දා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ සවුදි රජුවන සල්මාන් බින් අබ්දුලාසීස් අල්-සෞඩ් සමග දුරකථන සංවාදයක් ද පවත්වනු ලැබුවා.