අපිට IMF ණය අවශ්‍ය නැහැ : මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් කියයි

February 25, 2021 at 4:05 PM

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. මුදල් අමාත්‍යාංශයේ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

” අපිට අලුත් මාවතකට අපේ ආර්ථිකය ගෙනියන්න පුළුවන්. අපි ණයකාරයින් ලෙස පමණක් මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ නැතුව ණය නොගෙන මුදල් ඒකරාශි කිරීමෙන් පුළුවන් වෙනවා රට අලුත් මාවතකට අරගෙන යන්න.

මෙතැනදී අපි හැම තිස්සේම කාගෙන් හරි යැපෙන මානසිකත්වයක් නෙමෙයි. අපිට තියෙන්න ඕන අපේ ශක්තියෙන් මේක කරගෙන යන්න. අපි හැමදාම ණය අරගෙන මේක කරන්න ගියෝතින් මේ කරුණ සාර්ථක වන්නේ නැහැ.

රජයක් වශයෙන් අපි කල්පනාකාරීව තීරණය කරලා තියෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් මේ වෙලාවේ මුදල් ලබා ගැනීමට අපට අවශ්‍ය නැහැ. අපිට ඒ අයත් එක්ක වෙන කරුණු කාරණා තියනවා.

මේක ගැන කියන අය දන්නේ නැහැ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණයක් ගත්තම මොකද වෙන්නේ කියලා. අපි දැක්කා ගිය රජයට වෙච්ච දේවල්. රටේ සම්පත් විකුණන්න කියනවා, යම් යම් කේෂ්ත්‍ර කප්පාදු කරන්න කියනවා. එවැනි දේවල් අපිට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ” යැයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.