තවත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් දිවයිනට : කොවිඩ් එන්නත ලබා ගැනීමේදී ලබාදෙන කාඩ්පත ආරක්ෂිතව තබා ගන්න

February 25, 2021 at 1:19 PM

ඉන්දියාවේ චෙන්නායි සිට තවත් කොවිෂිල්ඩ් එන්නත් ලක්ෂ 05 ක මාත්‍රා ප්‍රමාණයක් ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් අද දින දහවල් 1.30ට කටුනායක ගුවන් තොටුපොළට රැගෙන එනු ලැබූ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. ශී‍්‍ර ලංකා රජය ඉකුත්දා මෙම එන්නත් ඇණවුම් කළ අතර ඒ අනුව එම එන්නත් මාත‍්‍රා තොගය අද දිවයිනට රැගෙන එනු ලැබුවා.

මේ අතර අද දිනයේදී බස්නාහිර පළාතේ අවධානම් ප්‍රදේශ තුල කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සිදුකරනු ලබන බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය අංශ සඳහන් කලේ එන්නත්කරණය කිරීමේදී ලබාදෙන කාඩ්පත සුරැකිව තබා ගන්නා ලෙස එන්නත ලබාගත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

දෙවන එන්නත ලබාදීමේදී ඒ සඳහා අවශ්‍ය අනුක්‍රමික අංකය මෙම කාඩ්පතේ සඳහන් වන අතර ඉදිරියේදී විදෙස් ගතවීමේ දී එන්නත්කරණය සිදුකරගත් බවට සාක්ෂි වශයෙන් තානාපති කාර්යාල වෙත පෙන්වීමට මෙම කාඩ්පත අවශ්‍ය වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.