අද කෝල් කරලා හෙට එන්නත් දෙන්න බැහැ : ඇතැම් අයගේ වැඩ නිසා එන්නත්කරණ වැඩපිළිවෙලේ ගැටළු තිබෙනවා – රාජ්‍ය ඇමතිනිය (VIDEO)

February 24, 2021 at 7:02 PM

ඇතැම් පාර්ශ්ව විසින් ගන්නා ලද තීරණ හේතුවෙන් කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වූ බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය කියා සිටියේ කොවිඩ් මර්ධන තාක්ෂණික කමිටුවේ ගනු ලැබූ තීන්දු තීරණ ඇතැම් පුද්ගලයින් විසින් වෙනස් කිරීම නිසා මෙවැනි තත්ත්වයක් මතුවී ඇති බවයි.

“කොවිඩ් කළමනාකරණ අමාත්‍යවරිය විදිහට මම දන්නෙත් නැහැ තාක්ෂණික කමිටුවේ ගත්ත තීන්දු තීරණ පැත්තකට දාලා ඇතැම් නිලධාරීන් ඒවා වෙනස් කරලා තියෙනවා. මේ කරුණු නිවැරදි කර ගන්න ඕන. මේ වෙනුවෙන් රජය විශාල මුදලක් වැය කරනවා එන්නත්කරණ වැඩසටහනේදී.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කොවිඩ් මර්ධන රැස්වීම වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන කොවිඩ් මර්ධන තාක්ෂණික කමිටු රැස්වීමේදී ගන්නා තීරණ වෙනස් කරනවා. හිටපු ගමන් රෑට කතා කරලා කියනවා හෙට එන්නත්කරණය කරන්න ලැස්ති කරන්න කියලා. එහෙම කිව්ව ගමන් කරන්න බැහැ.

මේ වෙනුවෙන් සෞඛ්‍ය නිලධාරීන්ට උපදේශන මාලාවක් නිකුත් කරන්න ඕන. අදාළ ග්‍රාම නිලධාරී වසමේ සිටින නිලධාරීන්ට සහ ජනතාව දැනුවත් කරන්න ඕන, නමුත් කෝල් එකෙන් ඒවා වෙනස් කරනවා. හදිස්සියේ වයස් කාණ්ඩය වෙනස් කරනවා.

මහජන සෞඛ්‍ය ගැන අවබෝධයක් නැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියා කළාපය මේකට හේතුවක්. කොවිඩ් මර්ධන ඇමති හැටියට මම දන්නේ නැහැ කොවිඩ් මර්ධන කමිටු රැස්වීම තියෙනවා. සන්නිවේදන ගැටළු නිසා යම් පැටලිලි සොභාවයක් දක්නට ලැබෙනවා”.