රේගුව සම්බන්ධයෙන් ජනපතිගෙන් පරීක්ෂණ කොමිෂමක්

February 24, 2021 at 6:15 PM

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යනය කොට එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා.

රේගුවට එරෙහිව නැගෙන විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිෂමට පැවරි තිබෙනවා. තොරතුරු තාක්ෂණ උපයෝගීතාව තුළ ආරක්ෂාව හා නිරෝධායන නීති රීති අවධානයට ගනිමින් රේගුවේ කාර්යයන් විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිෂමට පැවරෙන තවත් වගකීමක් වනවා.

මහජනතාවගේ සහ වෙනත් පාර්ශ්වයන්ගේ අදහස් කැඳවීමට ද, රේගු වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති යෝජනා සමාලෝචනයට ලක් කිරීමට ද ජනාධිපතිතුමා කොමිෂමට නියෝග කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ඇන්තනි ගුණරත්න මහතා කොමිෂමේ සභාපති ධූරයට පත් කරනු ලැබ සිටීයි. අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, ජේෂ්ඨ උපදේශක (වෙළඳ) ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂක ජනරාල් පී.ඒ. ඩයස් මෙම කොමිසමේ සෙසු සාමාජිකයෝ වනවා.