පාස්කු කොමිසමේ වාර්තාව ගැන කාඩිනල් හිමියන් සමග සාකච්ඡා කරනවා – ඇමති ජී.එල්.කියයි

February 22, 2021 at 2:33 PM

ජී එල් පීරිස් අමාත්‍යවරයා මේබව පැවසුවේ අද ඔඇවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

“පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ වනවිට ‍සාක්ෂිකරුවන් කැඳවා ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
ඒ පමණක් නොවෙයි කොමිසමෙන් අපි බලාපොරොත්තු වන්නේ.
ඊට වඩා එහාට ගොසින් මීට වගකිවයුත්තේ කවුරුන් ද? සංවිධානය කළේ කවුරුන් ද?
සෘජුව සහ වක්‍රව සම්බන්ධ වුණේ කවුරුන් ද?
මුදල් එවුවේ කවුරුන් ද?
අවශ්‍ය උපකරණ රැස්කර ගත්තේ කොහොම ද?

මේ සියල්ලට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට කැඳවීම අතිශයින් ම වැදගත්”

මේ සියල්ලට වඩා වැදගත් වන්නේ මෙවැනි සිදුවීමක් නැවත සිදු නොවීමට වග බලා ගැනීම බවද අමාත්‍යවරයා පැවසුවේය.

“මේක කතෝලික ජනතාවට පමණක් නොවෙයි අපේ රටේ සමස්ත ජනතාවට ම තීරණාත්මක වැදගත්කමකින් යුක්තයි සහ එය රටේ ආර්ක්ෂාවට බලපාන කරුණක්. මේ පිළිබඳ ව අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් අද්විතීය මෙහෙවරක් කළා. ඒ අවස්ථාවේ පවා එතුමාගේ මැදිහත්වීමක් නොවන්නට තත්ත්වය මීට වඩා වෙනස් වන්නටත් තිබුණා. අපිට වටිනා ජීවිත 250ක් පමණ නැතිවුණා පමණක් නොවෙයි 500කට අධික පිරිසක් තුවාල වුණා. මෙහිදී ඇතිවිය හැකි අවදානම් සහගත තත්ත්වය වළක්වා ගැනීමට කාදිනල් හිමිපාණන්ගේ මැදිහත්වීම අතිශයින් ම වැදගත් වුණා. කටුවාපිටිය අවට ජනතාවගේ උත්සන්න වුණු හැඟීම් පාලනය කරන්නට සංසිඳුවන්නට එතුමා මැදිහත් වුණා. එය මේ අවස්ථාවේ දී කෘතඥපූර්වක ව සිහිපත් කළ යුතු යි.”

කොමිෂන් සභා වාර්තාව ලැබී තිබුණත් අපි මේ සම්බන්ධ ව අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සමඟ සාකච්ඡා කළ යුතු බවද අමාතවරයා සඳහන් කළේය.

” එතුමාගේ අදහස් සහ යෝජනා අපට අතිශය වැදගත් වෙනවා. රජය පැත්තෙන් යම් යම් ව්‍යාකූලතා තිබෙන්නට පුළුවන්. ඒ සියල්ලන් ම පිළිබඳ ව අපේ ගෞරවනීය සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ගේ අදහස් විමසීමෙන් අනතුරු ව සහ සංවාදයකට භාජනය කිරීමෙන් අනතුරු ව තීන්දු තීරණවලට යා යුතු යි. මේක අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ සිදුවීමක් නිසා.”